Update – ඉන්දියාවේ ආගමික උත්සවයක සිදු වූ තෙරපීමෙන් මියගිය ගණන 100 පනී

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්‍රාස් හි ඊයේ (02) පැවති ආගමික උත්සවයක දී සිදු වූ තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයින් 116 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය මේ වනවිට වාර්තා කරනවා.

මියගිය අය අතරින් බහුතරයක් කාන්තාවන් වන අතර, ළමුන් හත්දෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

දහස් ගණනකගේ සහභාගීත්වයෙන් පැවති ‘සත්සං’ (යාච්ඤාවක්) අතර තුර මෙම තෙරපීම සිදුව තිබෙනවා.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීමට විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි.

එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති ද්‍රෞපදි මුර්මු ද මියගිය අයගේ පවුල්වලට සිය ශෝකය ප්‍රකාශ කළ අතර, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටියා.

යාච්ඤාව සඳහා සහභාගී වූ කාන්තාවන් පැවසුවේ එය ප්‍රාදේශීය දේවගැතිවරයා වන බෝලේ බාබා හෙවත් නාරායන් සාකර් හරිට ගෞරව කිරීම සඳහා සංවිධානය කළ එකක් බවයි.

රැස්ව සිටි සෙනඟ පිටව යාමට පටන් ගැනීමත් සමඟ තෙරපීම ඇතිව ඇති අතර, කුඩා ප්‍රදේශයක විශාල ජනකායක් ගොඩගැසීම මෙම අනතුරට හේතු වී තිබෙනවා.

මේ අතර මියගිය අයගේ පවුල් සඳහා රුපියල් ලක්ෂ 02 බැගින් සහ තුවාල ලැබූවන් සඳහා රුපියල් 50,000 බැගින් වන්දි ලබාදීමට ප්‍රාන්ත රජය ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?