දූෂණ චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද තලවකැලේ ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල මහතා ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ, අල්ලස් කොමිසම විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කිරීම අද (02) දහවල් සිදු වූ බවයි.
සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුවන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරාළ මහතා තම සේවාදායකයා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළා.
තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපතිවරයා වශයෙන් සැකකරු කටයුතු කරමින් සිටියදී එම නගර සභාවට අයත් අංක 12 දරණ මස්කඩ කාමරය බදු දීමේදී වැඩිම ලංසුව ඉදිරිපත් කළ තැනැත්තාට එය ලබා නොදී අඩුම ලංසුව ඉදිරිපත් කළ අයට එය ලබාදීමෙන් රජයට රුපියල් 2,380,000/- ක් පාඩු සිදු කළේ යැයි සැකපිට අල්ලස් කොමිසම විසින් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.





