ජීවිත නිකරුණේ සුන්නද්ධූලි කරන කුඩු මාෆියාවට මිනිස් ශරීරයක් බිලිවීම යනු තමන්ගේ මිණීවල තමා විසින්ම කපා ගැනීමකි.කොලඹ අවට කුඩු පැකට් එක යනු බඩගින්නට බත් පැකට් එක නැති වුවද,තිබහට දිය පොදක් නැති වුවද සමහර තරුණයන්ට වුමනාම දෙයක් වී ඇත.ඒ තරමටම ඔවුහු මත්කුඩු රුසියෝ වෙති.
අවුරුදු දොළහා,දහතුන වන විට හය හතර නොදන්නා පුංචි කොලු ගැටවුන් ඇස් රතු කරන් මත් වෙන්නට ආසා කරයි.කුඩු ගන්න මුදල් නැති කල තම මව මරා හෝ මුදල් සොයා ගන්නට හැකිනම් ඔවුහු එය දෙවරක් නොසිතති.මේ සමාජය කෙතරම් නම් අධමද???
නැත,එය “මත්ද්‍රව්‍ය වල ” වියරුවේ ස්වභාවයයි.මේ ක්‍රියා සිදු කරන කිසිවෙකු පියවි සිහියෙන් නොසිටියි.ජීවිතේ බරපතල කම නොතේරෙයි.
පිරිමි පාර්ශවය පමණක් නොව,මීට ඇබ්බැහි වුණු කාන්තා පාර්ශවය අති විශාල වීම දුක්ඛාන්තයකි.කුඩු මිළඳී ගැනීම සඳහා තමා වදාපු දරුවාද යාචකයන්ට විකුණන තැනට පත්වීම කෙතරම් නම් තිරිසන් සහගතද? එය මොවුනට මවිතයට කරුණක් නොවෙයි.බොහෝ වේලාවන් වල සිඟමන් යදින යාචකයෝ පුංචි දරුවන් රැගෙන බස් රථ වලට ගොඩ වෙති.පාරවල් අයිනේ වැටී සිටිති.නමුත් ඒ දරුවන් කිසි දිනක ඇස් හැර සිටිනවා අප දැක නැත.ඊට හේතුව ඒ කිරිසප්පයන්ට මත් පෙති ලබා දී තිබීමයි.
කොළඹ අවට මුඩුක්කු ගණනාවකම එදිනෙදා ජීවිතය මෙයයි.මව,පියා,දරුවන් පවුල් පිටින් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනා තැනට ඔවුන්ගේ ජීවිත ලියවී අවසන්.
මැවැනි දේ දකින විට ඔබට නීතිය මතක් වේවි.නමුත් මේ සමාජයට එයද හොඳට හුරු පුරුදුය.උදේ පාන්දරම කුඩුත් සමඟ අත්අඩංගුවට ගෙන පොලිස් ජීප් එකේ දමාගෙන යන තරුණයන් ඇඳිරි වැටෙන්නත් කලින් ඇපත් ලබා නිදහස් වී ගෙදරට එයි.නැවතත් පසු දින පාන්දරම කුඩු සොයා ඉගිලෙයි.
මේ සමාජය තුළ ගැහැණු ළමයින් අඩු වයසින් දරුවන් බිහි කිරීම සුලබ දෙයකි. මත්කුඩු ලෝලීත්වය නිසා ඇඟ විකුණා කුඩු ගහන ගැහැණු තම බඩට එන දරුවා විකුණාගෙනද කුඩු මිලඳී ගනිති.
මෙවන් පරිසරයක උපත ලැබීමද ආත්ම ගත පවකි.නිවැරදිව සිටිනා කෙනෙක්ට වුවද ඇස් පනා පිටම නිතරම මෙවැනි දේ පෙනීමද එක්තරා කරුමයකි.එක් අතකට මිහිපිට අපාය නම් මෙයයි.
හදිස්සියකට පුංචි දරුවෙක් කඩේකටවත් යැවිය නොහැක.මතින් මත්වුණු වෘක්කයන් පුංචි එවුන් ක්ෂනිකයකින් ඩැහැ ගනියි.
කුඩු විකුණන ලොක්කන්ට මොවුහු වැඳ පුදා නමස්කාර කරති.මන්ද ඔවුන්ට කුඩු ලබා දෙන්නෝ දෙවියෝය.මේ සමාජය අත්‍යාවශ්‍ය වන්නා ඔහුය.තම ව්‍යාපාරය කරගෙන යන්නට නම් ලොක්කන් මෙය පැතිරිය යුතුය.එහෙයින් තවත් වසර ගණනාවකට මේ ජීවිත නිදැල්ලේ මත් වෙති.
මත්ද්‍රව්‍ය යනු මේ වනවිට නගරය මෙන්ම ගමද තදින්ම වටලා ගත්තකි.මේ විනාශ වන්නේ නිකරුණේ තමන්ගේ ජීවිත වලින් වන්දි ගෙවන තරුණ ජීවිතයි.ශ්‍රී ලංකාව තුළ ඇති මේ දරුණු ව්‍යසනය ඉදිරියේදි තව තවත් දරුණු වනවා මිසක මෙහි අඩුවක් නම් පෙනෙන්නට නොමැති බව මේ හා සබැඳි සමීක්ෂණ වලින් පෙනී යෑම කණගාටුවට කරුණකි.වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ විරැකියාව සහ පවුල් ප්‍රශ්න වේ.
එය එසේ වන්නට ලංකාවේ තරුණ තරුණියන්ගේ මානසික මට්ටම කෙබඳු තැනක ද තිබෙන්නේ කියා ඇතිවන්නේ ප්‍රශ්නාර්ථයකි.තවත් ජීවිත කීපයකට මේ ඉරණම අත්වන්නේ පෙළඹවීමෙනි.එනම් කුඩු ලොක්කන් මෙය අලෙවි කර ගැනීම පිණිස තරුණයන්ව මීට පොලඹවාගන්නේ පොඩි ප්‍රමාණයක් නොමිලේම ලබා දීමෙනි.මුලින්ම ඈලි මෑලි කම් පෙන්නුවත් පසුව එයට මිනිසුන් ඇබ්බැහි වන්නේ දරුණිම ලෙසයි..දිය පොදක් නොමැතිව සෑහෙන්න කාලයක් පිපාසිතව සිටියාක් මෙන් මොවුහු කුඩු නොමැතිව සාගින්නෙන් පෙලෙති.ඒ මානසිකත්වය දරාගත නොහැකිව අතපය පවා කපා ගන්නට පෙලඹෙන්නේ එහෙයිනි.මෙය දරුණුම තත්වයකි.
මත්ද්‍රව්‍ය දුර්භාවිතය සහ නීති විරෝධී අයුරින් ප්‍රවාහනයට එරෙහිව ජාත්‍යන්තර දිනය යෙදී තිබෙන්නේ ජුනි26 වනදාටයි.අප දකින ගමේ නගරයේ පමණක් නොවෙයි මෙය කෙතරම් දුරට ව්‍යාප්තව ඇතිද කිවහොත් මත්ද්‍රව්‍ය යනු ගෝලීය වශයෙන් විශාල අර්බුදයක් ඇති කරන ලද දෙයක් වී තිබෙයි. එක එල්ලේම හෝ වක්‍ර වශයෙන් මත්ද්‍රව්‍ය වලටඇබ්බැහිවීම් හමුවේ මෙය ඉතාමත් විනාශකාරී ලෙසට මුලු මහත් ලෝකය තුල සමාජ ක්රමයේ ඉක්මනින්ම ව්‍යාප්ත වන බවට ප්‍රකාශ කරනු ලැබුවේ 1909 දී චීනයේ ෂැංහයි නුවර පැවති ප්‍රථම මත්ද්‍රව්‍ය පිළිබඳ සැසිය මඟිනි.එකී වාර්තා අනුව මෙය ගෝලීය වශයෙන් ඉතාමත් ඉක්මනින් වර්ධනය වන බවට සියලු සාක්ශි ප්‍රමාණවත් විය.එය එසේම අද වනවිට මත්ද්‍රව්‍ය යනු මුළු ලෝකයම ගිල ගත් බලවේගයක් වී හමාරය.
හෙරොයින් යනු ජීවිතයක් අමු අමුවේම මරා දැමිය හැකි මත්ද්‍රව්‍ය කි.හෙරොයින් වලට මිනිසුන් නොමරා මැරිය හැක.ජීවිතය නැත්තටම නැති කල හැක.1874 දී සී.ආර් ඇල්ඩර් රයිට් විසින් හෙරොයින් සොයා ගනු ලැබීය.1971දී හෙරොයින් මිනිස් ජීවිත වලට හානිකර මත්ද්‍රව්‍ය යක් ලෙසින් ප්‍රකාශ කරනු ලැබීය.එතෙක් වෛද්‍යවරුන් පවා මෙය රෝග නිවාරණ ඖෂයක් ලෙස ද නිර්දේශ කර තිබූ බව සඳහන්ය.කොහොමනමුත් මත්ද්‍රව්‍ය යනු මාරයාට අත වැනීමකි.
මේ වන විට අයිස් වැනි මත්ද්‍රව්‍ය ග්රාමීයව සෑහෙන්න බලපෑමක් ඇති කර තිබෙන මත්ද්‍රව්‍ය කි.දුම මඟින් සහ කටු තුළින් ශරීරයට ඇතුළු කටගන්නා මෙම මත්ද්‍රව්‍ය තුළින් ශරීරය වැහැරී ගොස් අවලස්සන පෙනුමක් ඉතුරු කරයි.අවසානයේදී එය ජීවිතයම බිළි ගන්නෙකු බවට පත්වෙයි.
එක්සත් ජාතීන්ගේ අපරාධ හා අපරාධ හා මත්ද්‍රව්‍ය පිළිබඳ සංවිධානය 2019වසරේ දී වාර්තාවක් ඉදිරිපත් කරන ලදී.ඒ අනුව එහි සඳහන් අයුරින් 2017වර්ශයේදී ලෝක ජනගහනයෙන් අවුරුදු 15 ත් 64 ත් අතර වයස් වල පුද්ගලයන්ගෙන් ජීවිතයේ එක් වරක් හෝ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ සංඛ්‍යාව මිලියන 271ක් බව සනාථ කරයි.මේ අනුව මිලියන 11 ක පමණ පිරිසක් මත්ද්‍රව්‍ය එන්නත් කරනු ලබන අතර නොයෙක් රෝගයන්ටත් මින් සෑහෙන්න ප්‍රතිශතයක් ගොදුරු වී තිබේ.
ලංකාවට මත්ද්‍රව්‍ය වල බලපෑම වැඩි වශයෙන් බලපාන්නට හේතුවක් නම් ලංකාව මත්ද්‍රව්‍ය භාවිත කරන ඉහළම රටවල් හා මධ්‍යව පිහිටීමයි.ප්‍රවාහනය,ඇසුරුකම්,ආශ්‍රිතයින් ආදී දේ ගැන සලකා බැලුවහොත් ලංකාව සිටින්නේ මරුකටකය.1977න් පසු විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසු මත්ද්‍රව්‍ය ලංකාවට ඇතුලු වූයේ බාධාවකින් තොරවයි.එය ලංකාවේ ජීවිත බිළිගත්තේ එකවර දහස් සංඛ්යාතවයි.
2018වර්ෂයේදී හෙරොයින් සම්බන්ධව පුද්ගලයන් 40998 ක් අත් අඩංගුවට පත්ව ඇති අතර 10%ක ප්‍රමණයක් වයඹ පළාතෙන් හා 8%ක ප්‍රමාණයක් මධ්‍යම පලාතෙන්ද වාර්තා වී ඇත.කරුණු විමසා බැලීමේදී කොළඹ පමණක් නොව මෙය සෑහෙන්න පරාසයක් ඔස්සේ ගොස් ග්‍රාමයද ගිලගෙන ඇතිබවට තවත් සාක්ශි අවශ්‍ය නැත.
ලංකාවේ තරුණයන් මෙයින් නොගැලවෙන්නේ ඇයිදැයි යන්න මේ ගැන කරුණු බැලීමේදී පෙනී යයි.ඊට ප්රබලවම බලපාන දෙයක් නම් ලංකාවේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයන් වේ.මූල්‍ය වාසි තකා බිහිව ඇති පුනරුත්ථාපන කඳවුරු වලින් මේ ජීවිතවලට යහපතක් වනවා දැයි යන්න පිලිබඳව ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.එයද ලංකාව මේ තත්වයෙන් ගොඩ නොඑන්නට හේතුවකි.පත්වෙන ආණ්ඩු තුළින් මේ සඳහා විවිධ විවිධ පාලන ක්‍රම යොදා ගැන්ම දක්නට ලැබෙයි.එය තරමක් දුරට සාර්ථක වුවද මුලුමනින්ම මෙයින් ගැලවීමට නම් ජීවිතාවබෝධය තිබීම අවශ්‍යමයි
මෙය ඉතාමත් අවාසනාවන්ත සිදුවීමකි.මෙයින් මේ අසරණ ජීවිත කවදා නම් මුදා හැරෙයිද?
නමුත් මොවුන් විනාශ කරගන්නේ තමන් විසින් තමන්ගේම ජීවිතයි.ඔවුන් කෙදිනකවත් ලොක්කන්ව පාවා දෙන්නේ නැත.නමුත් මත්ද්‍රව්‍ය බෙදාහරින්නා මේ කරගහන්නේ පරම්පරා ගණනාවක්ම මැරි මැරී උපදින පාපකර්මයකි..
-සචිනි සත්සරණි –