වියත්මග නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි ගුණපාල රත්නසේකරගේ නිවසත් ගිනි තබා තිබුණා.
මේ සම්බන්ධයෙන් ඔහු සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණේ මෙලෙසින්..
මා දේශපාලනයෙන් හම්බ කරපු එක රුපියලක්වත් නැත.
දිවා රෑ නිදි නොලබා දැනුම බෙදමින් සොයා ගත් දෑ දැන් ගිනි ගනිමින් තිබේ.
දිවි ඇති තුරා දේශපාලනයට නොඑමි !
මේ සටහනට ඔහුට ගුරුවරයෙකු අපූරු පිළිතුරක් ලබාදී තිබුණා.
පාර්ලිමේන්තු මංත්‍රී සරසවි කතිකාචාර්ය රත්නසේකර සර් වෙත ලියමි…
මගේ ජීවිතයේ මෙවැනි ලිපියක් ලියන පළමු වන වතාව. අළුත් රටක් ගොඩනැගීමට නම් අපේ ආකල්ප, අපේ මිණුම්දඩු, අපේ වටිනාකම් වෙනස් විය යුතුමයි. සරවම අප වෙනස් විය යුතුමයි. ඒ නිසා පමණක්ම ලියමි. ඔබ මාව නිවැරදිව තේරුම් ගනු ඇතැයි සිතමි.
රත්නසේකර සර්,
මේ මෙහොතේ මෙය ලිවීමට වඩාත්ම සුදුසු පුද්ගලයා මම යැයි සිතමි. කාලයක සිට ඇයි හොඳයිකං නොමැති වුවත් අපි එකම වෘත්තියක බොහෝ කාලයක් සේවය කරන වෘත්තීය සගයන් වෙමු.
ඊයේ ඔබේ කුරුණැගල පක්ෂ කාර්යාලයට ගිනි තබා තිබෙන බව ආරංචි උනා. ගිනි ගෙන දැවෙන ඡයාරූපයක් සහිතව ඔබ ඉතා සංවේදී අයුරින් ෆේස්බුක් සටහනක් තබා තිබෙන අයුරු මා දුටුවා. ඒ සටහන මාව අතීතයට ගෙනගොස් නැවත වර්තමානයට ගෙන ආවා. බොහෝ දෑ සිහිපත් කර දුන්නා.
ඔබ තැබූ සටහනේ සමහර තැන් වැරදියි. ඒවා නිවැරදි කළ යුතුයි.
මුලින්ම ඔබ කියා තිබෙනවා ඔබ දේෂපාලනයෙන් සතයක්වත් හම්බ නොකරපු බව. ඒක මෙන්න මෙහෙම නිවැරදි වෙන්න ඕන.
” මට දේෂපාලනයෙන් සතයක්වත් හම්බ කරන්න වෙලාවක් ආවෙ නෑ. මම ගිහින් ටික කාලයයි.”
එහෙම නේද හරි.
ඔබත් සමග වසර 25 ක් එකම වෘත්තියේ නියැළුනු ගුරුවරයෙකු වශයෙන් ඔබේ සිතුවිලි හා ක්‍රියාකාරකම් ගැන මට හොඳ අවබෝධයක් තිබෙනවා. ප්‍රතිලාභයක් අපේක්ෂා නොකර ආයෝජනයක් කරන්නේ නෑ කියල ඔබ, ඔබේ පංති කාමරය තුළ උගන්වනවා. විශේෂයෙන්ම ධනයට කෑදර ඔබ වැනි අය මූල්‍ය ප්‍රතිලාභ අපේක්ෂා කරනවාමයි. මෙතන ප්‍රශ්නෙ උනේ ආයෝජනයේ ප්‍රතිලාභ ලැබීමට කාලය ප්‍රමාණවත් නොවීම නේද?
අපට ලැබුණු ආරංචි වලට අනුව පසුගිය දිනවල ඔබ, ඔබේ පංතියට ආවෙ ගියේ පාර්ලිමේන්තු නිල රථයෙන්. එහෙම නේද? ඒවත් හම්බ කෙරිලි තමයි. මහජන මුදල් ගසාකෑම් තමයි. හැමෝම පටන් ගන්නෙ පොඩියට. සුළු පරිමාණයෙන්. පස්සෙ තමයි මහා පරිමාණ වෙන්නේ.
ආයෝජනය ගැන කියන කොට මට මතක් උනේ ඔබේ පංසල් හැදිලි හා ආගම් ඇදහීම ගැන. ඔබ ඒවා ඉතා සූක්ෂමව කළා. ඔබ ඒවට දක්ෂයි. ඇත්තටම ඒක ලොකු ආයෝජනයක්. හැබැයි ඔබේ වැඩ වල නං මට පෙනුන දහමක් නෑ. ඔබේ පංතියට හෑන්ඩ් බිල් බෙදුව කියල ගොඩක් ගුරුවරුන්ව ඔබ උසාවි ගෙනිච්චා. මටත් පැය බාගයක් කූඩුවේ ලගින්න උනා දඩ මුදල ගෙවල එනකං. අන්තිමට ඒ සිදුවීමෙන් පස්සෙ මං හෑන්ඩ් බිල් බෙදන එක නැවැත්තුවා. ඔබට ඕන උනේ ඔබ විතරක්ම රැකෙන්න. මම විතරයි ඉන්න ඕන, එක ආයතනයයි තියෙන්න ඕන කියන තෘෂ්ණාධික මානසික මට්ටමක තමයි ඔබ සිටියේ. ඔබේ රුපියල වෙනුවෙන් ඕනෑම පාවාදීමක් කිරීමට ඔබ පසුබට උනේ නෑ. කියන්න දේවල් නං එමටයි. දැනට මේ ඇති. හැබැයි එක ඉල්ලීමක් කරන්න ඕන. සිල් රෙදි පොරවගෙන ලෝකෙට හොඳ බව පෙන්නලා මිනිස්සු නොමග යවන්නෙ නැතුව දැං වත් බෞද්ධ දර්ශනය පිළිපඳින්න උත්සාහ ගන්න.
මම දැං යනවා ඔබේ ෆේස්බුක් සටහනේ දෙවන ඡේදයට. ඔබ එහි මෙන්න මෙහෙම කියනවා.
” දිවා රෑ නොලබා දැනුම බෙදමින් සොයා ගත් දෑ ගිනි ගනිමින් තිබේ..”
මම කැමතියි මේක කොටස් දෙකකට කඩන්න. ” දිවා රෑ නොබලා දැනුම බෙදමින්…” කියන කොටස විතරක් ගමු. මේක නං 100% ක්ම ඇත්ත. ගුරුවරයෙකු වශයෙන් ඔබ සතු දැනුම හා කුසලතා ගැන මම ඔබට ගරු කරනවා. ඔබේ දැනුමෙන්, ඔබේ හැකියාවෙන් ඔබ බොහෝ දරුවන්ට ජීවිතේ ඉහලටම යන්න මග පෙන්නුවා. ඔබේ ඉගැන්වීම් වපසරිය තුළ මා ඔබව ඉහළින්ම තබනවා. ඔබ ගුරු භූමිකාව තුළ විතරක්ම හිටියනං මම මේ විවේචනය කවදාවත්ම කරන්නේ නෑ. මොකද එය සදාචාර සම්පන්න නෑ. නමුත් ඔබ දැං මන්ත්‍රී වරයෙක්. පොදු ජනතාවගේ සේවකයෙක්. එතකොට ඔබව විවේචනය කිරීමේ අයිතියක් මහජනතාවට තිබෙනවා. ඔබ කරන කපටිකම්, නොමග යැවීම් ගැන දැන ගැනීමේ අයිතියක් මහජනතාවට තිබෙනවා. ඔබ පංති කාමරයට ගැලපෙන නමුත් පාර්ලිමේන්තුවට ගැලපෙන්නේ නෑ. පෞද්ගලික සේවයට හැර පොදු ජන සේවයට ගැලපෙන්නේ නෑ.
අපි ඊළගට බලමු ඡේදයේ අනෙක් කොටස ගැන. ” සොයා ගත් දෑ ගිනි ගනිමින් තිබේ..” යැයි ඔබ කියනවා. කාට හරි හිතෙන්න පුළුවන් ඔබේ සේසතම දවා අළු වී ගිහින් කියල. ඔබ මේක ලියල තියෙන්නෙ අනුකම්පාව දිනාගන්න. ඔබ රුපියල් 100ක් හම්බ කළා නං රුපියලක් විනාශ වෙන්න ඇති. නමුත් ඔබ කැමතියි රුපියලටත් හඬා වැටෙන්න. සියල්ල ඉවරයි කියල වැලපෙන්න. ඒක ආකර්ෂණීයයි.
මම වඩා කැමතියි මේ දෙවෙනි කොටස අන්තිම කොටසට එකතු කරන්න. මෙන්න මේ විදියට.
” සොයා ගත් දෑ ගිනි ගනිමින් තිබෙන නිසා නැවත දේෂපාලනයට නොඑමි.”
ඔබ ගැන හිතනකොට මේක තමයි නියම ඇත්ත. ඔබේ මුළු දේෂපාලන ආයෝජනයම ප්‍රතිලාභ රහිතව විනාශ උනා. ඒ වගේම ඔබ හොඳින්ම දන්නවා නැවත ඔබට දේෂපාලන ගමනක් නොමැති බව. කිව්වත් නැතත් ආයෝජනයට ප්‍රතිලාභ නොලබාම අකමැත්තෙන් හරි සමුගන්න වෙන බව. එහෙම නේද? ඒක ඔබට දරාගන්න අමාරුයි. ගිනි දැල් අතරින් ඔබට පේනවා ඔබේ ගමන අවසන් බව. ඔබට ඕන නෑ ඔබේ දේවල් නැති කරගෙන දේෂපාලනය කරන්න. මොකද මේක හම්බ කරන්න ආපු ගමනක් මිසක් විනාස කර ගන්න ආපු ගමනක් නෙවෙයි. එහෙම බලද්දි ඇත්තටම දුකයි තමයි.
ඔබට මෙන්න මේ විදියට කියවුනේ නැත්තෙ ඇයිදැයි මා නිතරම කල්පනා කරනවා.
” ගෝල්ෆේස් එකේ කුටි කාපු දරුවො අතරෙ මගෙන් ඉගෙන ගත්තු දරුවොත් ඉන්නවා. අපි මේ දරුවන්ගෙ අනාගතේ විනාශ කළා. මට මේව තවත් දරාගෙන ඉන්න බෑ. ඒ නිසා මම දේෂපාලනෙන් සමුගන්නවා..”
ඒ වචන මොන තරමි සුන්දරද. ඇත්තටම ඇයි ඔබ එහෙම කිව්වෙ නැත්තෙ. ඔබව පාර්ලිමේන්තු යැව්වෙ ඔබෙන් ඉගෙන ගත්තු දරුවන් සහ ඔවුන්ගේ පවුල් වල අය. ඔබට ලෙංගතු අය. එවැනි පිරිසක් බලා සිටියදී ඔබේ පක්ෂ කාර්යාලය ගිනි තැබීම ගැන ඇත්තටම ඔබ ලජ්ජා විය යුතුයි නේද? මම දන්නවා ඔබට එහෙම හිතෙන්නේ නෑ කියල. ඔබ සමාන්‍යයෙන් ලජ්ජාවක් නැති, සදාචාරයක් නැති කෙනෙක්.
ඔබේ දේෂපාලන ආගමනයත් වංචාකාරීයි. ඔබ ඇත්තටම බැසිල්ගේ මිනිහෙක්. හැබැයි ඔබ ඇඟව්වේ ගෝඨාභයගෙ කෙනෙක් විදියට. ඔබ බැසිල්ට හේත්තු වෙලා ඔබට මංත්‍රී ටිකට් එක ගන්න ගුරු සංගමයක් අටව ගත්තා. ඒක තනිකරම ඔබේ ගමන් මග ඉදිරියට ගෙන යාම සඳහාම ගොඩ නගා ගත් ප්‍රෝඩාකාරී ගුරු සංගමයක්. ගුරුවරුන්ගේ හෝ දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් තැනූවක් නෙවෙයි.
මම දන්නා තරමින් ගුරු සංගම් වලට මංත්‍රී ටිකට් දෙකක් හම්බ උනා. එකක් නුවර වසන්න යාපාටත් අනෙක ඔබටත් හම්බ උනා. නමුත් ඔබ මහජනතාවට ඇඟවූයේ ඔබ කුරුණෑගල වියත් මඟ නියෝජනය වශයෙන්. වියත් මග කණ්ඩායම හැදුවෙ ගෝඨාභය. ඔබට වියත් මගෙන් මංත්‍රී ටිකට් එකක් හම්බ උනේ නැතත්, ඔබ එහි සමාජිකයෙක් නොවුනත් ඔබ වාසිය ගන්න එය පාවිච්චි කළා. මොකද පසුගිය මැතිවරණයේදී මහජනතාව පෙහොට්ටුව වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළේ ගෝඨාභය නිසා. බැසිල් පස්සෙන් ගියත් ඔබ එය සඟවා කපටිකමට ගෝඨාගේ බව හඟවා ඡන්ද මංකොල්ල කෑවා.
වියත්මග ගැනත් යමක් කිව යුතුයි. ඔබ හිතනවද මේ දේෂපාලන මඩ ගොහොරුවේ උගත් බුද්ධිමත් මිනිසෙකුට අදීනව ගමනක් යා හැකි බව. හොඳ මිනිසුන්ට මේ ක්‍රමය තුළ පැවැත්මක් තිබෙන බව. නියම අවංක ප්‍රතිපත්ති ගරුක මිනිසුන් මේ ක්‍රමය තිබෙන තාක් දේෂපාලනයට එන්නෙ නෑ. වියත් මගෙන් පාර්ලිමේනතු ගියේ පාඩම් කරපු හොරු සෙට් එකක්. ඒක තමයි ඇත්ත. අද වියත්මග සිටින තැන තමයි එයට හොඳම සාක්ෂිය.
වියත් මග කතාවයි ඔබේ ගුරු ප්‍රතිරූපයයි නිසා ඡන්දෙන් දෙවෙනි හෝ තුන්වැනි තැනට එන්න ඔබට පුළුවන් උනා. මට ඒක හරියටම මතක නෑ. ඔබ ඒ වෙනුවෙන් එක් අවස්ථාවකදී හෝ ඔබේ මිනිසුන්ගේ මතය වෙනුවෙන් පෙනී සිටියාද? ජන මතය නියෝජනය කළාද? නෑ.. ඔබ කළේ ඒක නෙවෙයි. පාර්ලිමේන්තු ගිහිල්ලා රාජපක්ෂ පවුල වෙනුවෙන් සේවය කළා. විෂය ගිණුම්කරණය උනාට මොකද ජනධ්පතිගෙ, අගමැතිගෙ අයවැය විගනනය කරන්න ඕන නැහැ කියල අත එස්සුවා. කෝ ඔබ ඉගැන්වූ දැනුම. නිවටකමට එවා පාවා දුන්නා. ඇත්තටම ලැජ්ජයි. රාජපක්ෂලා වෙනුවෙන් ඕනම දේකට පෙනී ඉඳලා උගතුන් යනු අට පාස් මිනිසුන් වගේම පිට කොන්දක් නැති ජාතියක් යැයි සිතීමට සමාන්‍ය මහජනයාට ඉඩ සලසා දුන්නා. ජොන්ස්ටන්ලා සහ ඔබ අතර වෙනසක් සොයාගැනීමට පවා අපහසු උනා. හිරිකිතයනින් තොරව ඔවුන් සමග එකට වාඩි උනා. එකට කෑව බිව්වා. එකට මහජන දේපළ අවභාවිත කළා. ගුරුවරයෙකු ලෙස මඟපෙන්වා ගොඩනැගූ දරුවන්ගේ අනාගතය විනාශ කිරීමට දේෂපාලඥයෙක් වශයෙන් දායක උනා. පංති කාමරය තුළින් ගොඩනැගූ දෙය පාර්ලිමේන්තුවෙන් විනාශ කළා.
තවත් කීමට බොහෝ දේ ඇතත් මෙතනින් නවතිමි. ඔබේ අනාගත කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි පතමි.
මම,
අමරනාත් බටගොඩ.














අමරනාත් බටගොඩ සර් විසින් ලියන ලද ලිපියට ඌණ පූර්ණයක් සැපයීය යුතු යැයි මා සිතමි .ගුණපාල රත්නසේකර ඇදුරුතුමන් පාර්ලිමේන්තු යැවීම සඳහා අප ද ගුරුවරු ලෙස විශාල මෙහෙයක් කරන ලද බව සත්‍යයකි .නමුත් පාර්ලිමේන්තුව තුළ අප බලාපොරොත්තු වූ කාර්යයක් එතුමන්ගෙන් සිදු නොවුණ බව ද සත්‍යයකි.පාර්ලිමේන්තුව තුළ දීර්ඝ කාලයක් පැවැති දුෂිත තත්වයන් නොගැලපෙන නිසා එම අතපසුවීම් වන්නට ඇතැයි උපකල්පනය කල හැකිය .කෙසේ වෙතත් එම තත්වයන් තම ඡන්දදායකයින්ට පැහැදිලි කිරීම හෝ මීට පෙර යම් තීරණයක් ගැනීම එතුමා විසින් කළ යුතුව තිබුණු බව මා පෞද්ගලිකව සිතමි .
බටගොඩගේ ඉරිසියාව,
ඔයාගෙ අදහස ප්‍රසන්නයි.
ද්වේශයෙන් ලියූ ලියවිල්ලක්…..
Aiyo Sir left me wage e ayage niruwatha danaganima hondai
අමරනාත් බටගොඩ සර් වෙත ලියමි,
ඔබ විසින් මා අමතා සමාජ ජාලාවලට නිකුත් කර තිබූ ලිපිය සම්පූර්ණයෙන්ම වැරදි බව සඳහන් කරමි. මා දේශපාලනයට පිවිසියේ ඇයි යන කාරණය ඔබ කිසිසේත් ම නොදනී. ඔබ ඒ පිළිබඳව කිසිදාක මගෙන් විමසීමක් හෝ සිදුකර නැත. ඔබ මේ ලියන්නේ ඔබේ හිතේ තිබෙන දේම පමණි.
මම ඔබට වඩා දුප්පත් පවුලකින් උපත ලද අයෙකි. වසර තිහක් විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙසත් ඊට පෙර විගණන පරීක්ෂක වරයෙකු හා ගණකාධිකාරී වරයෙකු ලෙසත් සේවය කළ මම ඊටත් පෙර වඩා වැඩි කාලයක් වෘත්තීය දේශක වරයෙකු ලෙසත් සේවය කර ඇත. මා සතු කළමණාකරන දැනුමෙන් ඔබ අදටත් නොදන්නා තවත් ඉතාමත් ධාර්මික ව්‍යාපාර කිහිපයක්ම මා විසින් ආරම්භකර පවත්වාගෙන ආවෙමි. මා පෞද්ගලිකව බොහෝ දේ අත්කරගෙන තිබේ. ඒ සියල්ල මට ලැබුණේ නිදහස් අධ්‍යාපනය නිසා ය. මා අධ්‍යාපනය ලැබුවේ මේ රටේ ජනතාවගේ බදු මුදල්වලින් බව මම දනිමි. මට මේ බොහෝ දෑ ලැබුණේ මා සේවය කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නිසා බව මම හොඳින්ම දනිමි.
කෙළෙහි ගුණ සැලකීම සත්පුරුෂ ගුණයක් බව ඔබ දන්නවාද ? ජීවිතය තේරුම් ගැනීමට බොහෝ අත්දැකීම් අවශ්‍ය වේ. ඔබට තවමත් මට තරම් අත්දැකීම් ලැබී නැති බව මට දැන් හොඳටම විශ්වාසය. මා ඇසුරු කළ කල්‍යාණ මිත්‍ර සිල්වත් ස්වාමීන් වහන්සේලා නිසාම මම ජීවිතේ බොහෝ දේ ඉගෙන ගතිමි. මම දැන් තෙරුවන් සරණ ගිය පන්සිල් රකින බෞද්ධයෙක් බව නොපැකිලව කියමි. ඔබට එසේ කිව හැකිද ? මම මගේ පෞද්ගලික ධනයෙන් නිවසක් නැති අයට නිවාස, පාසල් ගොඩනැගිලි, වෙහෙර විහාර, ධර්මශාලා, කුටි සෙනසුන් යනාදී නොයෙක් දේ ඉදිකළේ ධර්මාවබෝධයෙන් බව ඔබ නොදනී. මා ඒවා කළේ ව්‍යාපාරික ආයෝජනයක් ලෙස බව ඔබේ මතය යි. දානෙ නිරාමිස සුවය ඔබ නොදන්නා නිසා ඔබේ එම මතය මම නොසලකා හරිමි. කෙසේ වුවද හැකිනම් එම අවබෝධය ලබා ගන්නා ලෙස කලක් මගෙ ලෙන්ගතු ම හිතවතා වූ ඔබට ආරාධනා කරමි. මා පන්සල් හැදුවේ ආයෝජනයක් ලෙස බව ඔබ කියා ඇත ආයෝජනය කළ යුත්තේ ප්‍රතිලාභයක් ලැබෙන පරිදි බව මගේ දරුවන්ට මා උගන්වා ඇත මා විසින් වෙහෙර විහාර ඉදි කරමින් අපේක්ෂා කළ ආධ්‍යාත්මක ප්‍රතිලාභය ඔබ කිසිසේත් ම නොදනී.
මට දේශපාලනයෙන් සතයක්වත් හම්බ කරගන්න බැරි වුණේ මම ගිහින් ටික කාලයක් නිසා බව ඔබ ලියා ඇත. මා සමග කුමන හෝ ආකාරයක ද්වේශයෙන් ඔබ එසේ ලියා ඇත්තේ ඔබ සිතන ආකාරයෙන් මිස මා සිතන ආකාරය නොවේ. කෙනෙක් සතු සමාජීය වගකීමක් ඇති බව ඔබ දන්නවා ඇතැයි සිතමි. මට සමස්ත සමාජයේ ම ලැබී ඇති දේ බොහෝය ඒ වෙනුවෙන් සමාජයට කළ යුතු මෙහෙවරක් තිබේ මා ජනතාවගේ මනාප ඉල්ලුවේ වසර 5ක සමාජ මෙහෙවරකට වරම් ලබා දෙන ලෙසය.
ජනතාව ඒ වරම අපට ලබා දුන්නත් කොවිඩ් ව්‍යසනය නිසාත් ජරාජීර්ණ වූ දේශපාලන මතධාරීන්ටම ඒ වගකීම පැවරුණ නිසාත් අපි බලාපොරොත්තු වූ දේ ඉටුකිරීමට නොහැකි විය. ඒත් covid සමයේ අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 9ක් කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත කර එන්නත්කරන වැඩ වැඩසටහන් ක්‍රියාත්මක කර ජනතාවට අභයදානය දීමට සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට හැකි වීම ගැන නිහතමානී සතුටක් තිබේ.
කෙසේ වුවද මා දේශපාලනයට පිවිසියේ ඔබ සිතන පරිදි මුදල් ඉපයීමට නොව මාගේ සමාජ වගකීම ඉටුකිරීමට ම බව මම තරයේ ප්‍රකාශ කරමි. හැකිනම් ඔබේ දූතයන් හෝ යොදා මට අල්ලස් හෝ වෙනත් එවැනි දෙයක් ලබා දිය හැකි දැයි පරික්ෂා කරන ලෙස මම ඔබට අභියෝග කරමි.
මා රාජකාරි සඳහා කොළඹ සිට කුරුණෑගලට පැමිණි විට සති අන්තයේ දී කුරුණෑගල නැවතී සිටී, එවිට සිප්වින් ආයතනයටද පැමිණි අවස්ථා තිබෙන බව මම පිළිගනිමි. එසේ කළේ රාජකාරි අවසන් කර නැවත කොළඹ ගොස් ආපසු පැමිණීමට කාලයක් නොමැති නිසාය.
රාජ්‍ය ඇමතිවරයා ලෙස මට වෙන් කර තිබූ කිසිදු වාහනයක් මා විසින් ලබා නොගත් බවත් පෞද්ගලික කාර්ය මණ්ඩලය ලෙස අමාත්‍යාංශයට කිසිවකුත් පත් නොකළ බවත් ඔබ දන්නවා ද ?
මගේ පන්තියට handbill බෙදපු ගොඩක් ගුරුවරු මා විසින් උසාවි ගෙනිච්ච බවත් ඔබටත් පැය භාගයක් කූඩුවේ ලගින්නට වූ බවත් ඔබ කියයි. මෙම චෝදනාව ඔබේ අමූලික බොරුවකි. ඔබ එසේ බොරු කියා නිකරුනේ අපාගත නොවන ලෙස දන්වා සිටිමි. සිප්වින් ආයතනයේ ද ගුරුවරුන් විශාල පිරිසකට නඩු පවරා තිබේ. පසුගිය සතියේ ද (අප්‍රේල් මුල) ගුරුවරුන් දෙදෙනෙකුට නඩු පවරා තිබුණි. එසේ නම් එම ගුරුවරුන් උසාවි ගෙන ගියේ ඔබද ? යන පැනය මම ඔබෙන් අසමි. කලක් ඔබත් ඔබේ පළමු බිරිඳත් මගේ පවුලේ සමග සිටි සමීප අය බව මට මතකය. ඔබ මෙසේ අභූත චෝදනා මා වෙත එල්ල කිරීමට සිත් වූයේ ඇයිද යන්න මට ගැටලුවකි. ගුරුවරයෙක් උසාවි යවනවා තබා
කිසිදු ගුරුවරයෙක් පිළිබඳ විවේචනයක් මගේ දශක 4 ගුරු ජීවිතය තුල සිදු කර ඇත්නම් සනාථ කරන ලෙස මම ඔබට අභියෝග කරමි.
ඔබ මුලින්ම කුරුණෑගල පැමිණියේ වරලත් ගණකාධිකාරණ පාඨමාලාවේ ආර්ථික විද්‍යා ගුරුවරයා ලෙසය. ඔබ උසස් පෙළ පෙළ ආර්ථික විද්‍යා ගුරුවරයෙක් ලෙස හඳුන්වා දුන්නේ මා විසිනි. ඒ එවකට ශිල්ප ආයතනයේදීය. නමුත් මා සිප්වින් ආයතනය ආරම්භ කිරීමට ආසන්නයේදී එවකට කුරුණෑගල ජනප්‍රියම හා ඉහළම ප්‍රතිඵල වාර්තා කළ ආර්ථික විද්‍යා ගුරුවරයා වූ ජයවීර සමරසිංහ මහතාට අපගේ ආයතනයට සම්බන්ධ වන ලෙස ආරාධනය කළෙමි. එතැන් පටන් මා ඔබ සමග අමනාප නොවූවත් ඔබ මා සමග අමනාප වී ඇති බව පෙනේ. ජයවීර සමරසිංහ මහතාගෙන් පසු අපගේ ආයතනයේ ආර්ථික විද්‍යා ගුරුවරයා ලෙස බඳවා ගත්තේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ආනන්ද රත්නායක සර්ය. මෙම සමස්ත ක්‍රියාදාමය ඔබේ ආර්ථික විද්‍යා පන්තියට අහිතකර ලෙස බලපා තිබිය හැකිය.
ඔබ මා සමග ද්වේශයෙන් පසු වන්නේ එම හේතුව නිසා බව මම විශ්වාස කරමි. ඒ නිසා ඔබේ ලිපිය පුරා ඇත්තේ ද්වේශසහගත චෝදනා මිස සත්‍යය නොවේ. මගෙන් අධ්‍යාපනය ලැබීමට එන දරුවන් ඔවුන්ගේ ම පියාණන් හා සමාන විශ්වාසයක් මා කෙරෙහි තබා ඇති බව මම දනිමි.
මා ඔවුන්ට උගන්වන්නේ මගේම දූ පුතුන් හා සමාන හැඟීමකින් බව මම ඔබට මතක් කර දෙමි. එම විශ්වාසය මම දිවිහිමියෙන් ආරක්ෂා කරමි. ඊට අදාළ ඔබේ හැඟීම දැන් කෙසේදැයි මම නොදනිමි.
මගේ මුහුණු පොතේ සටහනට ඔබට වාසි ඔබ කැමති ඕනෑම අර්ථකථනයක් දීමට ඔබට හැකිය. මට අවශ්‍ය වූයේ ඒ ගිනි ගනිමින් තිබුණේ දේශපාලනයෙන් උපයාගත් දේ නොව දුක්මහන්සියෙන් පෞද්ගලික උපයාගත් දේ බව අවධාරණය කිරීමටය.
තවදුරටත් දේශපාලනය නොකළ යුතුයි කියන අදහස ගොඩනැගුනේ එම ගිනි ගැනීම නිසා නොව තවත් ගමනකට සූදානම් විය යුතු නිසා බව මම පළමුවෙන්ම ඔබට කියමි. ඒ දැවී අලුවී ගිය දේ භෞතික දේ පමණක් නොව මාගේ ජීවිතයේදී අනිත්‍ය බව තෙරුවන් සරණ ගිය බෞද්ධයෙක් ලෙස මම අවබෝධ කරගෙන සිටිමි. මා හට ඇත්තේ තවත් ඉතාමත් සුළු කාලයක් බව මම හොඳින්ම දනිමි.
මා අරගලයේ යෙදී සිටින මගෙන්ම ඉගෙන ගත් දරුවන් ගැන කතා නොකළ බව ඔබ කියයි. කිසිවක් නොදැන එවන් චෝදනා කරන්නේ කෙසේද ? අරගලය තුළ කඳුළු ගෑස් ප්‍රහාර වලට ගොදුරු වන මගෙන්ම ඉගෙනගත් දරුවන්ගේ අපහසුතා ගැන පසුගිය සිකුරාදා මැයි 6 දින පාර්ලිමේන්තු කතාවක්ද මා විසින් සඳහන් කර තිබේ. ආණ්ඩුව විසුරුවා හැර අන්තර්වාර පාලනයක් බිහි කරන ලෙස බලකරමින් මාද ඇතුළු පොහොට්ටු මන්ත්‍රීවරු දසදෙනෙක් හෘද සාක්ෂියට අනුව කටයුතු කිරීමට ගත් තීරණයත් සමග අප මුහුණදුන් දුෂ්කරතා පිළිබඳව අල්ප මාත්‍ර දැනුමක් ඔබට නැත. ඔබගේ චෝදනා ද්වේශ සහගත බව මම කියන්නේ ඒ නිසාය.
මෙම ලිපියට පිළිතුරු ලෙස ඔබ ඉදිරියේදී කුමක් ලීවත් මම නැවත පිළිතුරු නොදෙමි. ඔබ සමග වාදයක් මට නැත. කෙසේ වුවද සත්‍ය නොදැන සම්පූර්ණයෙන්ම අභූත චෝදනා සිදු නොකරන ලෙස කලක් මිතුරකු සේ ඇසුරු කළ ඔබෙන් ඉල්ලා සිටිමි.
I 100% agreed with you.
කවුරු කෙසේ දේශපාලනයට ආවත් අද ජනතාව පිලිගන්නේ ඒ සියළු දෙනා පුද්ගල වාසිය තකා ආ බවයි. එඩේ නොවේ නම් ඔවුන් රටට ජනතාවට හෝ ප්‍රජාතන්ත්‍රවාදයට ගෝචර නොවන දේ වෙනුවෙන් පෙනී සිටීම අත එසවීම සහ කටහඩ අවදිකිරීම සිදු නොවී තිබිය යුතුව තිබුනා.