මාරවිල, කටුනේරිය ප‍්‍රදේශයේ පාසල් සිසුවෙකු ‘ඉන්ටර්නෙට් ගේම්‘ ගැසීමට ඇබ්බැහිවීම නිසා වැඩිහිටියන්ට අයත් සේසතම විකුණා මහත් කලබගෑනියක් කළේ පසුගිය සතියේය. මේ පළවන්නේ ඒ ගැන විස්තරයයි.
ප‍්‍රවීන් මධුශංකගේ වය අවුරුදු 18 කි ප‍්‍රදේශයේම ජනප‍්‍රිය පාසලක වාණිජ අංශයෙන් ඔහු උසස් පෙළ හැදෑරුවේය.
රවීන්ගේ මව සහ පියා ඔහු කුඩා කලම ඉතාලිය බලා පිටත් වූහ. ඒ රැකියාවන් කිරීම සඳහාය. එලෙස ගිය ඔවුන් මෙරටට පැමිණියේ වසරකට එක්වරක් පමණි. එම නිසා ප‍්‍රවීන් හැදී වැඩුණේ තම සීයා සහ මිත්තණිය සමගයි.
සීයා සහ මිත්තණිය සෙවනේ හැදී වැඩුණු නිසා ඔහු නිදහස උපරිමයෙන්ම භුක්ති වින්දේය. එම නිසා සමහර අවස්ථාවන්වලදී තමන්ට උවමනා සහ නුවුවමනා දේ පවා ඔහු කිසිදු බාධාවකින් තොරව සිදු කළේය.
මුදල් අතින් ද ඔහුට කිසි අඩුපාඩුවක් නොතිබුණි. එම නිසා මිතුරන් අතර ඔහු අත දිග හැර මුදල් වියදම් කළේය. එයට අමතරව විදෙස් ගතව සිටි දෙමව්පියන් තම එකම පුතා ඉල්ලන ඉල්ලන දෙය ලබාදීමට ද කටයුතු කළේය.
වරක් ඔහු දෙමව්පියන්ගෙන් යතුරුපැදියක් ඉල්ලූවේය. ඒ වන විට ඔහුට රියදුරු බලපත‍්‍රය ලබා ගැනීමට පවා වයස සම්පූර්ණ වී නොතිබිණි. විදෙස්ගතව සිටින දෙමව්පියන් ඒ ගැනවත්ම නොසිතා ඔහුට රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා යතුරු පැදියක් ලබා දුන්නේය.
කොවිඞ් වසංගතය හමුවේ පාසල් වසා දැමීම නිසා අන් පාසල් සිසුන් මෙන් ඔහුද අධ්‍යාපන හැදෑරුවේ ඔන්ලයින් ක‍්‍රමයටයි. එම නිසා ඔහුට ඔන්ලයින් අධ්‍යාපන කටයුතු කරගෙන යෑම සඳහා දෙමව්පියන් විසින් නවීන පන්නයේ ජංගම දුරකථනයක් සහ පරිගණකයක් ද ලබා දෙන ලදී.
මාස කීපයක් ගතවෙද්දී ඔන්ලයින් අධ්‍යාපන ක‍්‍රමය පසෙකට දැමූ ඔහු අන්තර්ජාලය හරහා වීඩියෝ ගේම් සෙල්ලම් කිරීමට පුරුදු වූයේය. සති කිහිපයක් ගත වෙද්දී දැඩි ලෙස ඔහු එම වීඩියෝ ගේම් වලට ඇබ්බැහි වූයේය. එලෙස ඇබ්බැහි වූ ඔහු මුදල්වලට පවා වීඩියෝ ගේම් සෙල්ලම් කළේය.
දිනක් ඔහු තම මිතුරන් සමඟ එම වීඩියෝ ගේම් පිළිබඳව මෙලෙස කතාබස් කළේය.
”මචං මාර ගේම් වගයක් ඇවිල්ලා තියෙනවා.”
”කොහෙද බං.”
”වෙන කොහෙද ඉතින් ඉන්ටර්නෙට් එකේ මිසක්.”
”ඉතින් අපිට සෙල්ලම් කරන්න බැයිද?”
”ඇයි බැරි මම කියන්නම් සෙල්ලම් කරන විදිහ.”
”කියපන්කො අපිත් ආසයි.”
”හැබැයි නිකන් සෙල්ලම් කරන්න බැහැ සල්ලි ඕනා.”
”උඹ කියන්නේ සල්ලි දීලා ගහන ගේම් ගැනද ?”
”ඔව් බං ඒව තමයි. මම ඒ වගේ ගේම් දෙක තුනක් ගහනවා. නියමයි මචං.”
”ඒ වගේ ගේම් ගහන්න උඹට වගේ අපිට සල්ලි කොහෙන්ද.”
”මටත් එහෙම සල්ලියක් නැහැ. ඒත් කොහොම හරි හොයාගෙන ගහනවා. උඹලත් එහෙම ගහපන්.”
”උඹට සල්ලි නැත්තං මහ බැංකුවේත් සල්ලි නැහැ. අපිට එහෙම සල්ලි හොයල ගේම් ගහන්න විදිහක් නෑ.”
”මටත් එහෙම සල්ලියක් නැහැ. එහෙන් මෙහෙන් බැලන්ස් කරලා තමයි සල්ලි හොයාගන්නේ.”
”සල්ලි හුඟක් යනවද ඔය ගේම් ගහන්න.”
”ඔව් ටිකක් විතර යනවා.”
”ටිකක් විතර කිව්වේ.”
”දහ දාහ, විසිදාහ සමහර වෙලාවට ඊටත් වඩා යනවා. ගේම් එක අනුව තමයි සල්ලි දෙන්න ඕනා.”
”උඹට පිස්සුද ඔච්චර සල්ලි ගෙවලා ගේම් ගහන්නෙ.”
”උඹලා දන්නෙ නැහැ ඒකෙ තියෙන ආතල් එක. ගහලා බලපන්කෝ. එතකොට වෙන මොනවත් ඕන වෙන්නේ නැහැ.”
”අපිටනං පිස්සුවක් නෑ උඹට වගේ සල්ලි දීලා ගේම් ගහන්න.”
”එක පාරක් සෙල්ලම් කළා නම් උඹලා ඔහොම කියන්නේ නෑ. මං වගේ හැමදාම ගහයි.”
”හරි හරි බලමුකෝ. දැන් ඔච්චර සල්ලි වියදම් කරලා ගේම් ගහලා උඹට මොනවද හම්බවෙන්නෙ.”
”හම්බවෙන දේවල් මම කියන්නම් තව ටික දවසකින්.”
කතාව එලෙස අවසන් විය. ප‍්‍රවීන් ට වුවමනා වූයේ කෙලෙස හෝ තම මිතුරන් කිහිපදෙනෙකු ද තමා සෙල්ලම් කරන වීඩියෝ ගේම් සඳහා එකතු කර ගැනීමටයි. එහෙත් එම මිතුරන් මුදල් නොමැතිවීම නිසා එයට අකමැති විය.
දවසේ වැඩිපුර කාලයක් කාමරයට වී ප‍්‍රවීන් සිදු කළේ මුදල් ගෙවා වීඩියෝ ගේම් සෙල්ලම් කිරීමයි. ඔහුගේ සීයා සහ මිත්තණිය සිතුවේ තම මුණුපුරා කාමරයට වී අධ්‍යාපනය හදාරන බවයි.
ප‍්‍රවීන් එන්න එන්නම ගේම්වලට ඇබ්බැහි විය. ඔහු ළඟ තිබූ මුදල් සියල්ලම අවසන් වූයේ එම වීඩියෝ
ගේම් සෙල්ලම් කිරීම සඳහා මුදල් ගෙවීම නිසාය. අවසානයේ ඔහු ළඟ සතයක්වත් නොතිබුණි. එහෙත් දැඩි ලෙස ගේම් සෙල්ලම් කිරීමට ඇබ්බැහි වී සිටි ඔහුට එය නවතා දැමීමට නොහැකි විය. එම නිසා කෙලෙස හෝ මුදල් සෙවිය යුතු යැයි ඔහු කල්පනා කළේය.
දෙමව්පියන්ගෙන් හැකි තරම් මුදල් ලබාගෙන තිබේ. එමනිසා ඔවුන් නැවතත් මුදල් ලබා දෙන්නේ නැත. සීයා සහ මිත්තණිය ළඟ තිබූ මුදල් ද උපරිමයෙන්ම ලබාගෙන තිබේ. මිතුරන් අත ද මුදල් නොමැත. එම නිසා කරන්නට කිසිම දෙයක් නොමැත. එහෙත් වීඩියෝ ගේම් සෙල්ලම් කිරීම කිසිසේත් නවතා දැමිය නොහැක.
මුදල් නොමැති නිසා වීඩියෝ ගේම් සෙල්ලම් කිරීමට නොහැකිව දින කිහිපයක් ඔහු සිටියේ ඉතාමත් දුකකිනි. කරන්න දෙයක් නොමැති තැන අවසානයේ ඔහු මෙලෙස සිතුවේය. ඒ නිවසේ තිබෙන රත්තරන් භාණ්ඩවලින් මාලයක් ගෙන උගස් කිරීමටයි. ඒ අනුව සීයාට සහ මිත්තණියට හොර රහසේ ඔහු නිවසේ තිබූ රත‍්‍රං බඩු වලින් මාලයක් ගෙන උගස් තැබුවේය. එයින් ලබාගත් මුදල්වලින් යළි ඔහු දින කිහිපයක් වීඩියෝ ගේම් සෙල්ලම් කළේය. එම මුදල් ද අවසන් විය.
”මට ගේම් ගහන්න සල්ලි හොයන්න වෙන ක‍්‍රමයක් නැහැ. දැන් කරන්න තියෙන්නේ යතුරුපැදිය විකුණන එක තමයි. ගෙදර කට්ටියට හොරෙන් මේක විකුණන්න ඕනා.” එලෙස සිතූ ඔහු අවසානයේ නිවැසියන්ට හොරෙන් යතුරුපැදිය විකිණීමට තීරණය කළේය.
දන්නා හඳුනන කීපදෙනෙකුටම ඔහු ඒ ගැන පැවසුවේය. ඒ අනුව එක් ගැණුම්කරුවකු පැමිණ යතුරු පැදිය පරීක්ෂා කළේය. ඔහු 150,000 මුදලකට එම යතුරු පැදිය මිලදී
ගැනීමට තීරණය කළේය. තම මිත්තණිය සහ සීයාට හොර රහසේ යතුරු පැදිය ඔහු එම ගැනුම්කරුට විකුණා දැමුවේය. එලෙස විකුණා ලබාගත් මුදල්වලින් එදින දවස පුරාම ඔහු අන්තර්ජාලය හරහා වීඩියෝ ගේම් සෙල්ලම් කළේය. පසු දින උදාවිය. නිවසේ තිබූ යතුරු පැදිය නොමැති බව දැනගත් මිත්තණිය ඒ පිළිබඳව තම මුණුබුරාගෙන් විමසුවාය. එහිදී ඔහු පැවසුවේ යතුරු පැදිය ගැන කිසිවක් තමන් නොදන්නා බවයි.ඒ අනුව නිවසේ තිබූ යතුරුපැදිය කවුරුන් හෝ සොරකම් කර ඇතැයි ඇය සිතුවාය. එලෙස සිතු ඇය මාරවිල පොලීසියට ගොස් මේ පිළිබඳව පැමිණිල්ලක් දැමුවාය.
පැමිණිල්ලට අනුව මාරවිල පොලිසියේ නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ. එහිදී ඔවුන්ට දැනගන්න ලැබුණේ එම එම යතුරුපැදිය කිසිවකුත් සොරකම් කර නොමැති බවයි. එම නිසා පොලිස් නිලධාරීහු සැක පිට නිවසේ සිටි පාසල් සිසුවාගෙන් ප‍්‍රශ්න කළහ. එම ප‍්‍රශ්න කිරීම් හමුවේ දී සැකකාර පාසල් සිසුවා සිදු වූ සියල්ල අකුරක් නෑර පැවසුවේය.
එහිදී පොලිසිය අනාවරණය කරගත්තේ සැකකාර මෙම පාසල් සිසුවා අන්තර්ජාලය හරහා මුදල් දී වීඩියෝ ගේම් සෙල්ලම් කිරීමට ඇබ්බැහි වූ අයෙකු නිසා රත්තරන් භාණ්ඩ සහ යතුරුපැදිය එලෙස හොර රහසේ විකුණා දමා ඇති බවයි.
මෙරට වෙසෙන තවත් බොහෝ දරුවන් අන්තර්ජාලය හරහා මුදල් යොදවා මෙවැනි වීඩියෝ ක‍්‍රීඩාවල නියැලේ. එම නිසා අන්තර්ජාලය භාවිතා කරන ඔබේ දරුවා ගැන විමසිලිමත් වන්න.
ගයාන් සමරසිංහ (ඉරිදා දිවයින)