මම රඟපෑමට වඩා කැමති ක්‍රීඩාවට. අදටත් හැමදාම උදේට ව්‍යායාම කරන්නේ හරි ම ආසාවෙන්. එයින් මට ලොකු ප්‍රබෝධයක් දැනෙනවා. එකක් දෙකක් රඟපාද්දි කැමැත්තක් ඇති වුණා. පුතා තේරෙන වයසට ආවා ම එයා මං ගෙදර නිතර නැති වෙනවාට කැමති වුණේ නෑ.
මටත් වෘත්තීය රංගන ශිල්පියෙක් වෙන්න ඕනෑකමක්, ආසාවක් තිබුණෙත් නැති නිසා ඒ වෙනකොටත් ලැබුණු බොහෝ ආරාධනා ප්‍රතික්ෂේප කරල රඟපෑමෙන් අයින් වුණා. දැන් පුතා ඔස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයක උපාධිය හදාරනවා. කොවිඩ් තත්ත්වය නිසා මේ දවස්වල ලංකාවට ඇවිත් මාර්ගගත (online) ක්‍රමයට අධ්‍යයන කටයුතු කරගෙන යනවා. ඔහු ඉතින් දැන් නම් මම රඟපානවාට මුකුත් කියන්නේ නෑ. විජිත (සැමියා) නම් කැමති දෙයක් කරන්න මට නිදහස දී තිබුණා. ඒත් ඔහු වැඩිපුර ගෙදර රැඳුණු කෙනෙක් නිසා මටත් එළියට යන්න වැඩි ආසාවක් දැනුණේ නෑ. දැන් වුණත් රඟපාන්න ආරාධනයක් ලැබුණොත් මට ගැළපෙනවා ද කියලා බලලා මම භාර ගන්නවා. ඒත් වෘත්තීය රංගන ශිල්පියෙක් වෙලා කාර්යබහුල වෙන්න නම් කැමති නෑ.”
නිර්මාණ දෙක තුනකට පමණක් දායක වුණත් ඇය ලැබූ ජනප්‍රියත්වය බොහෝ ඉහළ ය. ඉතා සැහැල්ලුවෙන් චරිත නිරූපණයේ යෙදීම ඊට එක් හේතුවකි. අනෙක් හේතුව නම් බොහෝ දෙනාගේ කුතුහලය දනවන්නකි. එනම් දුටුවන් නෙත් වශී කරන ඇගේ රූසපුව යි.
“මම මට ගොඩාක් ආදරෙයි. ඒ නිසා ලස්සනට, පිරිසිදු ව ඉන්න මම කැමතියි. මම ලස්සනට ඉන්නවාට විජිත ගොඩාක් කැමතියි. මගේ විලාසිතාවලට ඔහු කවදාවත් තහංචි දාලා නෑ. මගේ දරුවෝ දෙන්නාත් මගේ ලස්සන දකිනවා. ඉතිං මම ලස්සනට ඉන්නවා. විශේෂ ම දේ තමයි මම හැමදා ම උදේට දෙවියන් වඳිනවා. මගේ ආගම දෙවියන් උතුම් කොට සලකනවා. අපිරිසිදු ව, අපිළිවෙළට මට දෙවියන් ළඟට යන්න බෑ.”
වත් පිළිවෙත් සේ ම ආහාර රටාව ද අචලාගේ රූප සොබාව කෙරෙහි බලපාන බව අපට කියන ලද්දේ ඇය විසින් ම ය.
“මම දවසට කන්නේ ප්‍රධාන ආහාර වේල් දෙකයි. උදේ දවල් දෙකටම 12ට විතර කනවා. ආයිත් හවස 6ට විතර කනවා. හවස වෙලාවේදි හැමදාම මම කොළ ජාති දෙකක් කෑමට එකතු කර ගන්නවා. නිවිතියි, ගොටුකොළයි, එහෙම නැත්නම් කංකුං මුකුණුවැන්න වගේ එකට කන්න පුළුවන් වෙනස් විදිහට හදන පළා වර්ග දෙකක් හැමදාම කනවා. එළවළු වැඩිපුර අමු ගතියට කනවා. පලතුරු කනවා. මස් ජාති කන්නේම නෑ. ඉඳ හිට මුහුදු මාළු කනවා. විජිත නම් මුළුමනින් ම නිර්මාංශ යි. දුවයි, පුතයි, මිනිබිරියයි මස් මාළු ඕන දෙයක් කනවා. මම පාන්පිටි ආහාර, සීනි කන්නේ ම නෑ. මධ්‍යසාර වර්ගයක් අඩුගානේ වයින් ටිකක්වත් බොන්නේ නැහැ. කිසිම කිරි වර්ගයක් බොන්නෙත් නෑ. තේ කහට එකක්, නිල් කටරොලු මල් බීම එකක් සීනි නැතුව බොනවා.”
අචලා ආහාරයට ගන්නා එළවළු හා පලතුරු සම්බන්ධයෙන් කිවයුතු විශේෂ යමක් ඇත. එනම් ඇය ඒවා ආවාට ගියාට නොකන බව ය.
“අපට ඇල්ල වැල්ලවාය පැත්තේ වස විස නැති ගොවි බිමක් තියෙනවා. ඒකේ වගා කරපුවා විතරයි අපි කන්නේ. කොවිඩ් කාලේ ඒ වගා පුළුල් කළා. ඒවායේ අස්වැන්න ගොඩක් වැඩි වුණු නිසා ෆුඩ් ෂොප් එකක් විවෘත කරලා කෘෂි බිමේ වස විස නැති ඵලදාව අනෙක් අයටත් සාධාරණ මිලකට ගන්න අවස්ථාව සැලසුවා.
අචලා ඉවුම් පිහුම්වලට ද දස්කම් දක්වන්නී ය.
“මම අඩු වයසෙන් විවාහ වුණු නිසා උයන්න දැනගෙන හිටියේ නෑ. ඒ නිසා ඉවෝන් ප්‍රනාන්දුගේ ඉවුම පිහුම් පන්තිවලට ගිහින් හරි ක්‍රමවේදයට උයන්න ඉගෙන ගත්තා. මම හදන හතු මාළුව, අන්නාසි කරිය, බටු මෝජුව, පීසා කන්න විජිත ආසයි. ක්‍රිස්මස් එකට මං හදන කේක් එකට පුතා ගොඩාක් ආසයි.”
වත්මන් සමාජයේ බහුතරයකගේ විවාහ ජීවිතය නීරස වූවකි. මුළු ලෝකය ම ඔයා පමණයි කියූ අය විවාහ වී නොබෝ දිනකින් උසාවි ගානේ රස්තියාදු වන්නේ දික්කසාද වීමට ය. කලා ක්ෂේත්‍රයේ ද එවැනි සිදුවීම් බහුල ය. සමාජ ආකර්ෂණය ඉහළින් ම තිබුණු කාලයක ජනප්‍රියත්වය මතින් බැබළි බැබළී නොසිට ප්‍රේමය විවාහයෙන් ජයගත් ඇය කලාව හෝ විවාහය හෝ පිළිබඳ කලකිරීමකින් තොර ව සතුටින් සිටීම වත්මන් සමාජය දෙස බැලීමේදී අරුමයක් නොවේදැයි කෙනෙකුට සිතෙන්නට බැරිකමක් නැත.
“මම ලස්සනයි කියලා කවුරු හරි කියනවා නම් ඒකට ප්‍රධාන ම හේතුව මගේ හිතේ තියෙන නිදහස් හා සැහැල්ලුවයි. මම ලස්සනට ඉන්නේ ලෝකයාට පෙන්නන්න නෙවෙයි. සමහරු තමන්ගේ ගේ ඇතුළේ හරි ම අපිරිසිදු ව අපිළිවෙළට ඉඳලා එළියට යද්දී ලස්සන වෙලා යනවා. මම ගෙදරදි, සැමියා, දරුවෝ එක්ක එකට ඉන්න හැම වෙලාවකදී ම ඔවුන්ට ආස හිතෙන විදිහට ඉන්න කැමතියි. අද විවාහ ජීවිත බොහෝමයක් දෙදරා යන්න කාන්තාවගේ අපිළිවෙළ, අපිරිසිදුකම හේතු වෙලා තියෙනවා. මමත්, සැමියාත් එක ම ආගමේ යි. අපි දෙන්නා ම දෙවියන් වහන්සේට මුල් තැන දෙනවා. දරුවොත් ඒ විදිහට ම හැදුණා. පවුලක සමගියට තමන්ගේ ආගමට මුල්තැන දීලා කටයුතු කිරීමත් වැදගත්. දෙන්නාට දෙන්නා එකඟ නැත්නම් පිංකමක්වත් කරන්න බැහැ. සමහරු සමාව ගන්න හරි අකැමතියි. මම විජිතට, දුවට, පුතාට විතරක් නෙවෙයි වැඩට ඉන්න අයට පවා මගේ අතින් වරදක් වුණොත් “සොරි” කියනවා. ඒ වචනයෙත් ලොකු බැඳීමක් තියෙනවා. මම කවදාවත් විජිත එක්ක තරහා වෙලා නින්දට යන්නේ නෑ. අපි එකඟ නොවන අදහස්, නොගැළපීම් ඕනෑ තරම්. හැබැයි මේ අවුරුදු තිස් දෙකේදී ම අපේ දවස නිමා කරන්නේ දෙන්නාගේ එකඟතාවෙන් යුතුවයි. මම හැමදාම සතුට හෙව්වේ මගේ ගේ ඇතුළෙන් ම යි. ඒ නිසා ඒ සතුට මට හැමදාම තියෙනවා. දැන් ලොකු මිනිබිරිය නිසා සතුට තවත් වැඩිවෙලා. දුව එළියට යද්දි ඇයව අපේ ගෙදර නවත්තනවා. අපි දෙන්නා සින්දු දාගෙන නටනවා. එයා මට “ආච්චී” කියලා කතා කරද්දී මට හරි ම සතුටක් දැනෙනවා.”
ආච්චි කියා නයේලි හා මහී යන මිනිබිරියන් දෙදෙනා කීවත් ඇය තවමත් මනාලියට හැඩවී ඡායාරූපවලට පෙනී සිටින අයුරු අපි දකින්නෙමු.
“ම්…… අන්තිමට ම මනාලියක් වුණේ මීට අවුරුදු තුනකට විතර කලින් තිබුණු මනාලියන් දැක්මක. හැරිස් විජේසිංහයන් මාව හැඩගැන්නුවා. හැබැයි ඒ වෙලාවේ නම් මට පොඩි ලැජ්ජාවකුත් දැනුණා. “තරුණ ගෑනු ළමයි කරන වැඩ මේවා“ කියලා මම හැරිස් අයියාට කිව්වා.“මොන පිස්සුද ළමයෝ, එහෙම හිතන්න එපා“ කියලා හැරිස් අයියා කිව්වා. එදා සමහරු මාව පෙන්නලා හැරිස් අයියාගෙන් අහලා තියෙනවා අචලාගේ දුව නේද මේ කියලා. මම කී වතාවක් නම් මනාලියෝ වෙලා තියෙනවා ද කියලා හරියටම මතකයක් නැහැ. හැරිස් අයියා මට ගොඩාක් හිතවත් වගේ ම මම ඔහුට හරි ම ආදරෙයි. ඔහු ඕන වෙලාවක මට කතා කළොත් මනාලියන් දැක්මකට හෝ ෆොටෝ ෂූට් එකකට මම බෑ කියන්නේ නෑ.
කලා ක්ෂේත්‍රයේ කවුරුවත් හිතමිතුරන් ලෙස සමීප ව ඇසුරු නොකරන බව ද ඇය කීවා ය.
“කලා ක්ෂේත්‍රයෙන් පිට මට ගොඩාක් හිතවත් යාළුවෝ පිරිසක් ඉන්නවා. අපි ඉඳහිට එක තැනකට එකතු වෙලා කෑම ටිකක් විනෝද වෙනවා. මම කොහොමටත් හොඳට හිනාවෙන්න හරි කැමතියි. දුක හිතෙන, අඬන වැලපෙන නිර්මාණ වලට වඩා හාස්‍යය, විනෝදය සහිත නිර්මාණ නරඹන්න මම හරි ම ආසයි. මේ දවස්වල ජාතික රූපවාහිනියේ යන ‘සකල ගුරු‘ බලන්න කැමතියි.”
ඇත්තට ම කලාවෙන් ඈත්වෙලා ඉන්න දුක නැද්ද කියා අපි අවසන් වශයෙන් ඇගෙන් ඇසුවෙමු.
“අනේ නැහැ. මම අකැමැත්තෙන්, කාගේ හරි බලපෑමක් නිසා කලාවෙන් ඉවත් වුණා නම් දුක හිතෙන්න තිබුණා. කොවිඩ් වසංගත තත්ත්වය ආරම්භ වෙන්න ටික දවසකට කලිනුත් මට ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබුණා. මට ඒ චරිතෙට ආසා හිතුණේ නැහැ. දුක් විඳින, කටුක ජීවිත ගෙවන කාන්තා චරිතයකට වඩා සමාජයට හොඳ පණිවුඩයක් දෙන්න පුළුවන්, ශක්තිමත් කාන්තාවකගේ චරිතයක් මට ලැබුණොත් මම ඒක කරන්න කැමතියි. තව දරුවෙක් හදාගත්තා නම් හොඳයි කියලා මට සිතුණු අවස්ථා තිබුණා. අනේ මට රඟපාන්න ඇත්නම් කියලා ළතැවීමක් නම් මට නෑ.”
තුෂාරී කළුබෝවිලරසඳුනඡායාරූප – සාලිය රූපසිංහ