Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ඉම්රාන් ඛාන් ගැන පාකිස්ථාන නීතිඥ සංගමයෙන් ඉල්ලීමක්

සිරගත කර සිටින පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳට කඩිනමින් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙස එරට නීතිඥ සංගමයේ සාමාජිකයන් අටදෙනෙකු අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කරන ලෙස ද ඔවුහු රජයෙන් ඉල්ලා සිටිනවා.

අගෝස්තු 18 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණේ ඉම්රාන් ඛාන් විශේෂ වෛද්‍ය ප්‍රතිකාර සඳහා දින දෙකක් ඇතුළත ඉස්ලාමාබාද්හි ෂිෆා ජාත්‍යන්තර රෝහලට යොමු කරන ලෙසයි.

එහෙත් ඔහු රජයේ රෝහලක් වන පාකිස්ථාන වෛද්‍ය විද්‍යා ආයතනය වෙත පරීක්ෂණ සඳහා රැගෙන ගොස් නැවත බන්ධනාගාරයට ගෙන ගිය බව වාර්තා වනවා.

නීතිඥ සංගමයේ සාමාජිකයන් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක දැක්වෙන්නේ ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බිබීගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා අධිකරණ නියෝග කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවයි.

ඔවුන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම මෙන්ම සාධාරණ නඩු විභාගයකට සහ නීතිමය ආරක්ෂාවට ඇති අයිතිවාසිකම් තහවුරු කළ යුතු බව ද එම නිවේදනයේ සඳහන්.

ඉම්රාන් ඛාන් හුදකලාව රඳවා තබා ඇති බවත්, ඔහුට නීතිඥයන් සහ පවුලේ සාමාජිකයන් හමුවීමට ඇති අවස්ථා සීමා කර ඇති බවත් නීතිඥවරු චෝදනා කරනවා.

එමෙන්ම, ඔහුගේ බිරිඳගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ද දැඩි අවධානයක් යොමු කළ යුතු බව ඔවුන් පෙන්වා දෙනවා.

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් දෙදෙනාගේ ජීවිත සහ නිදහසට යම් හානියක් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් රජය සහ අදාළ බලධාරීන් වගකිව යුතු බවට ද නීතිඥ සංගමයේ සාමාජිකයෝ අනතුරු අඟවා තිබෙනවා.