Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ආර්මේනියාවේ රූපවාහිනී දේශපාලන වැඩසටහනක ගුටිබැට හුවමාරුවක්

ආර්මේනියාවේ රාජ්‍ය රූපවාහිනියේ පැවැති දේශපාලන සාකච්ඡාවක් අතරතුර ගැටුමක් හටගෙන තිබෙනවා.

මෙම සාකච්ඡාව සඳහා සහභගී වී සිටි මාධ්‍යවේදී බොරිස් මුරාසි සහ දේශපාලන විශ්ලේෂක හරුත්යුන් ම්ක්ර්ට්ච්යන් අතර, සාකච්ඡාව අතර තුර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බවයි වාර්තා වුණේ.

එම උණුසුම් වචන හුවමාරුව අවසානයේ ගැටුමක් දක්වා වර්ධනය වී තිබෙනවා.

විපක්ෂයේ දේශපාලන වැඩපිළිවෙළ පිළිබඳව පැවැති The Great Debate වැඩසටහනේදී දෙදෙනා එකිනෙකාට අපහාස කරමින් වාදයක පැටලී ඇති අතර, පසුව සිය ආසනවලින් නැඟිට එකිනෙකාට පහර දී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

පසුගිය 13 වැනිදා වැඩසටහන පටිගත කිරීමේ දී මෙම ගැටුම සිදුව ඇති අතර, නොවැම්බර් 15 වනදා වැඩසටහන විකාශය වී ඇති අතර, අදාළ ගැටුම සංස්කරණය නොකර වැඩසටහන විකාශය කිරීමට රුපවාහිනී නාළිකාව කටයුතු කර ඇති බව සඳහන්.

මේ අතර ආර්මේනියාවේ රූපවාහිනී හා ගුවන්විදුලි නියාමන කොමිසමද ප්‍රචණ්ඩකාරී දර්ශන විකාශය කිරීමට ගත් තීරණය විවේචනය කර තිබෙනවා.

සහභාගිවන්නන්ගේ හැසිරීම, විවාදයේ උණුසුම් ස්වභාවය, නරඹන්නන්ගේ අවධානය දිනා ගැනීමේ උත්සාහය හෝ අපක්ෂපාතීත්වයේ මූලධර්මය අනුගමනය කිරීම වැනි කරුණු පදනම් කරගෙන, ප්‍රසිද්ධියේ ප්‍රචණ්ඩත්වය සහ අපහාස කිරීම් සිදුකිරීම සාධාරණීකරණය කළ නොහැකි බවයි එම කොමිසම පවසන්නේ.