නීත්‍යානුකූල බලපත්‍ර නොමැතිව ටී-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවි හයක්, රිවෝල්වර, ක්ලේමෝ බෝම්බයක්, අත්බෝම්බ තුනක් හා ජීව පතරොම් 542ක් ඇතුළු අවි ආයුධ තොගයක් සන්තකයේ තබාගැනීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව යළි දෙසැම්බර් 14 වැනිදා කැඳවන ලෙස නියෝග කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල නියෝග කර තිබෙනවා.
එදිනට නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්රණ පවත්වන බවත් එදිනට බන්ධනාගාරයේ සිටින වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාරයට නියෝග කළා.
මෙම නඩුවේ පස්වන විත්තිකරු වන හිටපු උප පොලිස් පරික්ෂක ලක්මිණ ඉන්දික බමුණුසිංහගේ ජාතික හැඳුනුම්පත නැවත සකස් කිරීමට අවශ්‍ය ලේඛන ඔහු වෙත ලබාදෙන ලෙසද බන්ධනාගාර අධිකාරීවරයාට නියෝගයක් නිකුත් කර ඇති බවටත් වාර්තාවෙනවා.
බන්ධනාගාර පණතේ ප්‍රතිපාදන අනුව කටයුතු කරන ලෙසටද මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළා.
නඩුවේ හයවෙනි විත්තිකාරිය වන ශයාමලී පියදර්ශනී නමැත්තියට 2013 වසරේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට කර තිබූ නියෝගය ද මහාධිකරණය විසින් අත්හිටුවීමට නියෝග කළා.
ඉදිරියේදී අධිකරණය හමුවේ නිසි පරිදි පෙනී නොසිටියහොත් එකී කොන්දේසිය යළි පනවන බවත්, නඩු විභාගය අවසන් වන තුරුම එම කොන්දේසිය ක්‍රියාත්මක කරන බවටත් මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් විත්තිකාරියට අවවාද කර තිබෙනවා.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, රවිඳු ගුණවර්ධන, ශ්‍යාමලි ප්‍රියදර්ශනී පෙරේරා (වාස් ගුණවර්ධනගේ බිරිඳ) හිටපු උපපොලිස් පරීක්ෂක ඉන්දික බමුණුසිංහ, හිටපු පොලිස් නිලධාරීන් ඇතුළු විත්තිකරුවන් හත්දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පෙර කී චෝදනා ඇතුළු අධිචෝදනා 56ක් යටතේ 2026.06.08 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකරීමෙන් මෙම නඩුව පටන්ගෙන තිබෙනවා.
2013.05.05 වැනිදා හා 2013.06.03 වැනිදා කාලය අතරතුර දෙහිවල නැදිමාලේදී පෙර කී ගිනි අවි ඇතුළු අවි ආයුධ සන්තකයේ තබාගැනීම හා ඊට ආධාර අනුබල දීමෙන් ගිනි අවි ආඥා පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි එම විත්තිකරුවන් හත්දෙනාට චෝදනා නගා තිබුණා.
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතන නඩුවට වරදකරුවන් කර මරණීය දණ්ඩනය නියම කර සිටින විත්තිකරුවන් හයදෙනකු හා වාස් ගුණවර්ධනගේ බිරිඳ මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබෙනවා.
තුන්වන විත්තිකාර හිටපු පොලිස් සැරයන් ගාමිණි සනත් චන්ද්‍ර, මොහොමඩ් ෂියාම් ඝාතන නඩු විභාගය අතරතුර මියගොස් තිබූ අතර මේ වනවිට බන්ධනාගාරගත කර සිටින සෙසු විත්තිකරුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කොට තිබුණා.










