හිටපු ජනපති රනිල්ගේ නඩුව දෙසැම්බර් 09 කැඳවන ලෙස කොටුව උසාවියෙන් නියෝග

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා දෙසැම්බර් 09 වනදා කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළා.

ඒ වැඩ බලන මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි හමුවේ අද (11) නඩුව කැඳවු අවස්ථාවේ දීයි.

සිද්ධියට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා .

මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී සැකකාර රනිල් වික්‍රමසිංහ සහ සමන් ඒකනායක යන අය අධිකරණය හමුවේ පෙනී සිටියා.

ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ දූර කාලයේ දී පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිය වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා ලන්ඩනය වෙත ගොස් රුපියල් ලක්ෂ 166කට අධික පාඩුවක් රජයට සිදුකළ බව කියන සිද්ධියට අදාලව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ ඔහුගේ ලේකම්ට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා.