අස්වැසුම නාමලේඛනයට අදාළව අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ තොරතුරු යාවත්කාලීන කිරීමෙන් පසු ප්‍රකාශයට පත් කළ නාමලේඛනයට අදාළව අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමේ කාලය දීර්ඝ කර තිබෙනවා.

අද (11) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබූ එම කාලසීමාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ලබන 15 වන දින දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කළේ.

ඒ, අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ට, අයදුම්කරුවන්ට සහ පොදු මහජනතාවට මාර්ගගත ක්‍රමයට අභියාචනා හෝ විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවනවා.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සහ සේවා සහාය 1924 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ලබා ගත හැකි බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අද (11) දිනය වන විට පද්ධතිගත කර ඇති මුළු අභියාචනා ප්‍රමාණය 143,805ක් වන අතර, මහජන විරෝධතා 6,478ක් ලැබී තිබෙනවා.