නෞකා නාශක මිසයිල සහ ප්රහාරක ඩ්රෝන යානා යොදාගනිමින් සජීවී වෙඩි තැබීමේ පුහුණු අභ්යාස පැවැත්වීමේ හැකියාව සොයා බැලීම සඳහා ජපානය සිය ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් ඉන්දියාවට යවා තිබෙනවා.
ජපාන භූමි ස්වයං ආරක්ෂක බලකායේ ප්රධානී ජෙනරාල් අරයි මසයෝෂි මේ බව තහවුරු කර ඇත්තේ පෙරේදා (27) වැනිදා පැවති මාධ්ය හමුවකදීයි.
ඒ අනුව, ජපාන ආරක්ෂක අමාත්යාංශ නිලධාරීන් ඔක්තෝබර් මැද භාගයේදී ඉන්දියාවට ගොස් සතියක පමණ කාලයක් එරට පරීක්ෂණ පහසුකම් සහ වෙඩි තැබීමේ පුහුණු භූමි නිරීක්ෂණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම පුහුණුව සඳහා යොදාගන්නා මිසයිල පද්ධතිය මෙතෙක් තීරණය කර නොමැති අතර, අභ්යාසය පැවැත්වීම සම්බන්ධයෙන්ද අවසන් තීරණයක් ගෙන නැහැ.
ජපානයේ නවීන මිසයිල පද්ධතිවල ප්රහාරක පරාසය වැඩිවීමත් සමඟ ඒවායේ සම්පූර්ණ හැකියාවන් ප්රයෝජනයට ගනිමින් පුහුණුවීම් සිදුකිරීම අභියෝගයක් වී ඇති බව ජපාන හමුදා ප්රධානියා පෙන්වා දී තිබෙනවා.
ජපානය විසින් 2026 මාර්තු මාසයේදී හඳුන්වා දුන් Type 25 නෞකා නාශක මිසයිලයේ පරාසය කිලෝමීටර් දහසක් පමණ වන බව සැලකේ. එය මීට පෙර භාවිත කළ Type 12 මිසයිලයේ කිලෝමීටර් 200ක පමණ පරාසයට වඩා සැලකිය යුතු වැඩිවීමකි.
මේ අතර, කුඩා ප්රහාරක ඩ්රෝන යානා යොදාගනිමින් පුහුණුවීම් සිදුකිරීමේ හැකියාවද සාකච්ඡාවට ලක්ව ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කර ඇත්තේ.
ජපානය මීට පෙර අමෙරිකාව, ඔස්ට්රේලියාව සහ පිලිපීනය යන රටවලදී නෞකා නාශක මිසයිල පුහුණු අභ්යාස සිදුකර තිබේ.
ඉන්දියාවේ පුහුණු පහසුකම් ලබාගැනීමට හැකි වුවහොත්, ජපානයට සිය විදේශීය පුහුණු විකල්ප පුළුල් කරගැනීමටත් ඉන්දියාව සමඟ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කරගැනීමටත් අවස්ථාව සැලසෙනවා.
