මීගමු බන්ධනාගාර ගැටුම ගැන මානව හිමිකම් කොමිසමේ වාර්තාව එළියට

මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ වාර්තා සහ රැඳවියන්ගේ ප්‍රකාශ ද පදනම්ව, මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සකස් කළ විමර්ශන වාර්තාව ඊයේ (28) ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව, බන්ධනාගාර ගැටුමට ප්‍රධාන හේතුව කාමර පාටියේ රැඳවියන් විසින් නිලධාරීන්ට කේළම් කීම බව එම කොමිසම වෙත සාක්ෂි ලබා දුන් රැඳවියෙකු හෙළි කර ඇති බවයි එම වාර්තාවේ සඳහන් වුණේ.

එමෙන්ම බන්ධනාගරයේ දෙවන වාට්ටුවේ සහ හත්වන වාට්ටුවේ රැඳවියන් අතර පැවැති වෛරී නොසන්සුන්තාව ගැටුමට මූලික හේතුව වූ ඇති බවට ද තවත් රැඳවියෙකු සාක්ෂි ලබාදෙමින් සඳහන් කර තිබෙනවා.

වාර්තාවේ සඳහන් වන පරිදි සිදු කළ ස්ථානීය පරීක්ෂණයන්ට අනුව ජූලි මස 5 වනදා දහවල් සිට පසුදින දක්වාම බන්ධනාගාරයේ අභ්‍යන්තර පාලනය, රැඳවියන් විසින් සිදුකර ගෙන ගොස් තිබෙනවා.

හැටුම අතරතුර රැඳවියන් විසින් බන්ධනාගාර රෝහල සහ විනය අංශය බිඳදමා එහි තිබූ ඖෂධ සහ මත්ද්‍රව්‍ය ලබාගෙන ප්‍රචණ්ඩකාරී අයුරුන් හැසිරී ඇති අතර, ඊට කාන්තා රැඳවියන්ගේද සම්බන්ධයක් පැවති බව නිරීක්ෂණය වන බව වාර්තාවේ සඳහන්.

රුඳවියන් විසින්ම තවත් රැඳවියන් පිරිසක් ඝාතනය කර ඇති අතර පසුව නිලධාරීන් කිහිප දෙනෙකුද ඔවුන්ගේ අමානුෂික ප්‍රහාරයන් හමුවේ ඝාතනය වී ඇති අදාළ වාර්තාව දැක්වෙනවා.

මේ අතර මානව හිමිකම් කොමිෂන් සභාව විසින් වාර්තාව සමඟ නිර්දේශ 08ක් ද ඉදිරිපත් කර තිබෙනවා.

මෙම සිදුවීමේදී රැඳවියන් අතර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය මර්දනය කිරීමට සහ ඊට නිසි විසඳුම් ලබා දීමට බන්ධනාගාර පාලන අධිකාරිය අපොහොසත් වී ඇති බවත්, නැවත එවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීම සඳහා විශේෂ කමිටුවක් පත් කර අධ්‍යනයක් කර එම නිර්දේශ මත පියවර ගැනීමට බන්ධනාගාර බලධාරීන් සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා කටයුතු කළ යුතු බවත්, වගකිවයුතු පාර්ශවයන් හඳුනාගෙන අධිකරණයේ නඩු පැවරීම සිදු කළ යුතු බවත්, අදාළ නිර්දේශවල සඳහන්.