රුපියල් හතලිස් පන් කෝටි පනස් ලක්ෂයක් වටිනා මත්ද්රව්ය තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු ඊයේ (28) දින රාත්රී කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු 46 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ජාතික ඉංජිනේරුවරයෙක් බවයි වාර්තා වන්නේ .
ඔහු සිය ගමන් මල්ල තුළ රුපියල් දහනව කෝටි අසූ ලක්ෂයක් වටිනා කිලෝ ග්රෑම් 13 ග්රෑම් 173 ක් බරැති එක්ස්ටැසී
( Ecstasy) මත් පෙති 23,000 කට අධික ප්රමාණයක් සඟවා ගෙන පැමිණ තිබුණා.
මෙම මත්පෙති තොගය ශ්රී ලංකාව තුළ මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලතම මත්පෙති තොගය බව රේගු මත්ද්රව්ය පාලන අංශයේ ජ්යෙෂ්ඨ නිලධාරීවරයෙකු පැවසූ බව අප ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළා.
ඊට අමතරව කොකේන් මත්ද්රව්ය කිලෝ ග්රෑම් 05 ග්රෑම් 121 ක ප්රමාණයක් ද එම ගමන් මල්ල තුළ සගවා ගෙන තිබූ අතර, මෙම මත්ද්රව්ය තොගය, විශාල ප්රමාණයේ චොකලට් පැකැට් ලෙස පිටතට පෙනෙන සේ අසුරා සකස් කර ගෙන තිබූ බවයි සඳහන් වන්නේ.
මෙම මත්ද්රව්ය තොගය රැගෙන ප්රංශයේ පැරිසියේ සිට කටාර් රාජ්යයේ දෝහා වෙත පැමිණ, එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරන ගුවන් යානයෙන් ඊයේ දින රාත්රී 09.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම මත්ද්රව්ය තොගය සමග ඉන්දීය ජාතික ඉංජිනේරුවරයා ද කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට නියමිතයි.
