රෝහල් ගත වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විශාදය

කොළඹ පුද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වන විට ප්‍රතිකාර ලබා අවසන්ව නිවස වෙත පිටත්ව ගොස් තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා විටින් විට ඇති වන අධි රුධිර පීඩනය සහ විශාදය යන රෝගයන් අසාද්‍ය වීම හේතුවෙන් මෙලෙස රෝහල් ගත වී ප්‍රතිකාර ලබා ගත් බව අද (27) අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නීතීඥ, අලි සබ්රි සඳහන් කළා.

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙනුවෙන් ඇප ඉල්ලීම සිදු කරන අවස්ථාවේදී කරුණු දක්වමින් ජනාධිපති නීතිඥවරයා මේ බව සඳහන් කළා.

“ ස්වාමිනී, මේ සැකකාර නාමල් රාජපක්ෂගේ පියා මහින්ද රාජපක්ෂ. මව ශිරන්ති රාජපක්ෂ. මම අධිකරණයට උප්පැන්න සහතිකය ඉදිරිපත් නොකළහොත් මේ සැකකරුගේ පියා සහ මව ඔවුන් නෙමෙයි කියලා කියන්න පුළුවන් පැමිණිල්ල. මේ සැකකරුගේ පියා වසය අවුරුදු 81 පුද්ගලයෙක්. මව වයස අවුරුදු 74 පුද්ගලයෙක්. මොහුගේ පියා මේ වන විට, ඔහුට විටින් විට ඇතිවන අධි රුධිර පීඩනයෙන් සහ විශාදය යන රෝගයන් අසාද්‍ය වී රෝහල් ගත වී ප්‍රතිකාර ලබා ගෙන නිවසට ගොස් තිබෙනවා. නමුත් ඔහුව රැක බලා ගැනීම අවශ්‍යයි. ඔහුව බලා ගැනීම මෙතෙක් කාලයක් ඉටු කළේ මේ සැකකරුගේ මව වන ශිරන්ති රාජපක්ෂ. නමුත් ඇයත් මේ වනවිට හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව සිටිනවා. ඇයගේ හෘදයට රුධිරය සපයන ප්‍රධාන නළය අවහිර වී තිබෙනවා. එමනිසා හෘදයට ඔක්සිජන් සපයන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වීමට ඉඩ තිබෙන බවට වෛද්‍යවරුන් හඳුනාගෙන තිබෙනවා. ඇයට එන්ජියෝ ග්‍රෑම් පරීක්ෂණයක් සහ තවත් ශල්‍ය කර්ම දෙකක් කිරීමට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබුණා. ඉන් එක් ශල්‍ය කර්මයක් මේ වන විට සිදු කර ඇයව හෘද ස්පන්ධන යන්ත්‍රයක් ආධාරයෙන් (pacemaker) දැන් රෝහලේ සිටිනවා.
වෛද්‍ය නිර්දේශ අනුව ඇයට දෙවන සැත්කම ලෙස විවෘත හදවත් සැත්කම අද පස්වරු හතරට සිදු කරනවා. එයා ජීවිත අවදානමක් සහිත සැත්කමක්. අද පස්වරුවේ මේ සැත්කම සිදුකළ පසු මේ සැකකරුගේ මව ජීවතුන් අතර සිටීද නැද්ද කියාවත් ස්ථිරව කියන්න බෑ. දැන් සැකකරුගේ පියා මහින්ද රාජපක්ෂව බලා ගැනීමට සැකකරුගේ මවට හැකියාවක් නෑ. මොකද සැකකරුගේ මවවත් දැන් රැක බලා ගැනීමට කෙනෙකු අවශ්‍යය තත්ත්වයක් උද්ගතව තිබෙනවා. අද මේ සැකකරුට ඇප ලබා දුනහොත් ඔහු ගිහින් ඔහුගේ මව බලයි. මොහු මොහුගේ මව ජිවතුන් අතර සිටියදී දකින අවසන් දවස අද වෙන්නත් පුළුවන් ස්වාමීනී. මොහු මහින්ද රාජපක්ෂගේ සහ ශිරන්ති රාජපක්ෂගේ වැඩිමහල් පුත්‍රයා. මොවුන් එකම නිවසේ ජීවත් වුණේ.
සැකකරුවකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීම දඩුවමක් හැටියට ක්‍රියාත්මක නොවිය යුතුයි. අද දිනයේ මාගේ සේවා දායකයා ඔහුගේ මවව බැලුවේ නැති වුවහොත් සමහරක් විට ඔහුට ඉදිරියේ දකින්න නොලැබෙන්නෙ පුළුවන් ඔහුගේ මව. මොහුට අම්මා තාත්තා බලා ගැනීමට වගකීමක් තිබෙනවා. ප්‍රභාකරන් මැරුණ වෙලෙත් ඔහුගේ අම්මා තාත්තා අප බලා ගත්තා. සහකම්පනය නැති කර නොගත යුතුයි ස්වාමීනී. එම නිසා මානුෂීය සානුකම්පිතව සලකා බලා ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන ද සලකා සැකකරුට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා” යැයි ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.