සංවිධානාත්මක අපරාධ කල්ලි 48ක් තවමත් සක්‍රීයයි – 48ක් දැනටමත් අක්‍රීයකර අවසන් – ඇමති ආනන්ද

රට තුළ තවමත් සංවිධානාත්මක අපරාධ කල්ලි 48ක් සක්‍රීයව පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

කෙසේ වෙතත් තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි 48ක් මේ වනවිටත් අක්‍රීය කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර විදෙස් ගතව සැඟව සිටිය දී අත්අඩංගුවට ගැනුණු සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙක් ඉදිරි දින කිහිපයක තුළ මෙරටට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම රතු නිවේදන නිකුත් කර ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි අවදානයෙන් පසුවන බව සඳහන් කළ අමාත්‍යවරයා, ඔවුන්ව අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමේ මෙහෙයුම් වෙනුවෙන් මෙරට නිලධාරීන් ජාත්‍යන්තර පොලිසිය සමඟ සම්බන්ධ වී කටයුතු කරන බවත් පැවසුවා.

මාතර – තලල්ල වෙරළ තීරයේ තිබී සොයාගත් කිලෝ 475කට අධික අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය අද (24) පස්වරුවේ පැමිණ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ආනන්ද විජේපාල මෙලෙස අදහස් දක්වා සිටියා.