පෝලන්තය සහ ඉන්දියාව අතර සිදුවන වෙළෙඳාම දෙගුණ කිරීමට සැලසුම්

ඉන්දියාව සහ පෝලන්තය අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම 2030 වසර වන විට දෙගුණ කිරීමේ ඉලක්කයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ පෝලන්ත අග්‍රාමාත්‍ය ඩොනල්ඩ් ටස්ක් නවදිල්ලියේදී පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුවයි.

දෙරට අතර පතල් කර්මාන්තය, නෞකා නිෂ්පාදනය, බලශක්තිය, අභ්‍යවකාශ සහ ආරක්ෂක තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීමට ද නායකයන් එකඟ වී තිබෙනවා.

පෝලන්ත අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය වසර 16කට පසු පෝලන්ත අග්‍රාමාත්‍යවරයකු ඉන්දියාවේ සිදුකරන පළමු සංචාරය ලෙස සැලකෙනවා.

මීට වසර දෙකකට පෙර මෝදි පෝලන්තයේ කළ සංචාරයේදී දෙරටේ සබඳතා උපායමාර්ගික හවුල්කාරිත්වයක් දක්වා උසස් කර තිබුණා.

මෝදි සඳහන් කර ඇත්තේ, එම සංචාරය දෙරට අතර සබඳතා වේගවත් කිරීමට උත්තේජනයක් වූ බවයි. ආර්ථික, ආයෝජන සහ තාක්ෂණික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව නායකයන් මෙවර සාකච්ඡා කළ බව ටස්ක් පවසා තිබෙනවා.