තුන්කොන් සටනේ හෙට තරගය රෝස පැහැයට වෙන් කරයි

ශ්‍රී ලංකාව , එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ පාකිස්ථානය අතර දෙවන තරගය හෙට (25) ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරගාවලියේ සිය මුල් තරග දෙකම පරාජයට පත්වීමෙන් අනතුරුව එංගලන්ත කණ්ඩායමට තරගාවලිය පිළිබදව තවදුරටත් බලාපොරොත්තු තබා ගැනීමට නම් හෙට පැවැත්වෙන තරගය අනිවාර්යෙන් ජයගත යුතු වනවා.

මේ අතර තරගාවලියේ හෙට (25) පැවැත්වෙන පකිස්තානය සහ එංගලන්ත අතර තරගයේදී කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයින් රෝස පැහැයෙන් සැරසී ක්‍රීඩා කිරීමට නියමිතයි.

එමෙන්ම තරග විස්තර විචාරකයන්, සහ සියළුම නිලධාරීන් රෝස පාට ඇඳුමින් සැරසී පිටියට වාර්තා කරනු ඇති.

මෙලෙස රෝස පාට ඇඳුමින් සැරසී සිටීමෙන් පියයුරු පිළිකා රෝගය ගැන විශේෂ දැනුවත් කිරීම සහ පියයුරු පිළිකා රෝගයෙන් පීඩා විඳින රෝගීන් වෙනුවෙන් තරගය වෙන් කිරීම අරමුණ බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසන්නේ.