කලා ඔයේ පහත්බිම්වල ජනතාවට ගංවතුර ගැන අනතුරු ඇඟවීමක්

කලා ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්න වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙන්නේ, රාජාංගනය, නොච්චියාගම, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාවල අයට ගංගා නිම්නයේ පහළ ප්‍රදේශවලට හා ඒ ආශ්‍රිත පහත්බිම්වලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි.

රාජාංගනය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර මේ වනවිට තත්ත්පරයට ඝන අඩි 13,200කට අධික සීඝ්‍රතාවයකින් කලා ඔයාට ජලය මුදාහරිමින් පවතින අතර ජලාශයට ලැබෙන ජල ධාරිතාව අනුව මෙම ප්‍රමාණය ඉදිරියේදී තවදුරටත් වැඩිවීමට ඉඩ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මේ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශය හරහා ගමන් ගන්නා රියදුරන්ගේ හා මගීන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.