අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු අමාත්ය ප්රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙස ශ්රේෂ්ටාධිකරණය අද (21) නියෝග කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ වරයා මාර්ගයෙන් එම වරෙන්තුව නිකුත් කරන ලෙස නියෝග කළ අධිකරණය එය නොපමාව ක්රියාත්මක කිරීමට අවශ්ය සියලු පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝග කරනු ලැබුවා.
අද දින අධිකරණය හමුවේ පෙනී සිටි සෙසූ විත්තිකරුවන් දෙදෙනා රිමාන්ඩ් භාරයට පත් කිරීමටත් අධිකරණය නියම කළා.
2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාගේ කහවත්ත ප්රදේශයේ පැවති ප්රචාරක රැළියකට වෙඩි ප්රහාරයක් එල්ල කර පුද්ගලයෙකු මරා දැමීමේ චෝදනාවට වැරදිකරු කළ ප්රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළා.
එම දඩුවමට එරෙහිව විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා විභාග කළ අභියාචනාධිකරණය ප්රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට නියම කර තිබුණා.
එම තීන්දුවට එරෙහිව අගතියට පත් පාර්ශ්වය ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක විභාගය පසුගිය සැප්තැම්බර් මස 04 වනදා අවසන් කළ ශ්රේෂ්ඨාධිකරණය ප්රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබූණා.
එහෙත් මෙම නඩුකරය අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ප්රේමලාල් ජයසේකර මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.
ඉදිරිපත් වු කරුණු සලකා බැලූ අග විනිසුරු ප්රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ප්රමුඛ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ප්රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කිරීමට නියම කළා.
විත්තිකාර ප්රේමලාල් ජයසේකර මහතා විදේශ ගතව සිටින බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දී තිබුණා.
