ඉන්දියාවේ පිළිකා ඖෂධ 137ක මිල සියයට 70කින් අඩු කෙරේ

පිළිකා ප්‍රතිකාර වඩාත් දැරිය හැකි මිලකට ලබාදීමේ අරමුණින්, ඖෂධ 137ක මිල සියයට 70ක් දක්වා අඩු කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

ඉන්දියාවේ රසායනික ද්‍රව්‍ය හා පොහොර අමාත්‍යාංශය සෙනසුරාදා මේ බව නිවේදනය කළේය. අදාළ ඖෂධවල වෙළෙඳ ලාභ ආන්තිකය උපරිම සිල්ලර මිලෙන් සියයට 30කට සීමා කිරීමට ද නියමිතයි.

මිල සංශෝධනයට ඇතුළත් ඖෂධ අතර, පිළිකා වර්ග 20කට වැඩි සංඛ්‍යාවකට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරන ප්‍රතිශක්තිකරණ ප්‍රතිකාර ඖෂධ මෙන්ම පියයුරු, පුරස්ථි ග්‍රන්ථි, මහා බඩවැල්, ඩිම්බකෝෂ සහ ගැබ්ගෙල පිළිකා සඳහා භාවිත කරන ඖෂධ ද වනවා.

මෙම මිල සංශෝධන නොවැම්බර් 9 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

2019 වසරේදී පිළිකා නාශක ඖෂධ 42ක් සඳහා මිල පාලනය හඳුන්වා දුන් ඉන්දියාව, එමගින් ඖෂධ මිල සියයට 90ක් දක්වා අඩුකර තිබුණා.

නව තීරණය එම මිල පාලන වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් කිරීමක්.