අසූතුන් ලක්ෂයක විදෙස් දුම්වැටි සමඟ ගුරුවරියක් සහ තරුණයෙක් ගුවන්තොටේ දී අල්ලයි

රුපියල් අසූතුන් ලක්ෂ හතළිස් දහසක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ
විදෙස් ජාතිකයින් දෙදෙනෙක් අද (25) අලුයම කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් බවයි වාර්තා වුණේ.

එක් අයෙක් වයස අවුරුදු 33ක එරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත වී සිටින්නෙක් වන අතර, අනෙක් තැනැත්තිය 38 වන වියේ පසුවන ඉන්දියාවේ පාසලක සේවය කරන ගුරුවරියක් බවටයි අනාවරණය වී ඇත්තේ.

ඔවුන් දෙදෙනා මෙම දුම්වැටි තොගය චීනයෙන් මිල දී ගෙන සිංගප්පූරුව වෙත පැමිණ එතැන් සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව් – 468 දරණ ගුවන් යානයෙන් අද (25) අලුයම 12.25 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 03ක් තුළ දුම්වැටි 55,600ක් අඩංගු දුම්වැටි කාටූන් 278ක් සඟවා තිබිය දී සොයාගැනීමට ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට හැකිව තිබෙනවා.

මොවුන් දෙදෙනා අද (25) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.