පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවෝ 24 දෙනකුට එරෙහිව අධි චෝදනා 23,270ක් ගොනු කර විභාග වන පාස්කු මහ නඩුවේ විත්තියේ සාක්ෂි විභාගය අද (17) ආරම්භ වුණා.
පැමිණිලි පාර්ශ්වයේ සාක්ෂිකරුවන් ලෙස 2,309ක පිරිසක් සාක්ෂි ලබාදුන් අතර, එහි අවසාන සාක්ෂි ද ඉකුත් 13 වනදා
ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර අධිකරණයට දැනුම් දුන්නේ සාක්ෂි විභාගය අවසන් කරන බවයි.
ඒ අනුව වසර 05කට ආසන්න කාලයක් තුළ දින 547ක් පමණ දීර්ඝ වශයෙන් ඉදිරිපත් කෙරුණු පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් නිමා වුණා.
එහිදී විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ නඩුවේ විත්තියේ සාක්ෂි විභාගය ලබන 17 වනදා ආරම්භ කරන බවයි.
ඒ අනුව අද ( 17 ) විත්තියේ සාක්ෂි විභාගය ආරම්භ වුණා.
විත්තිවාචික කැඳවිමේදි විත්තිකරුවන්ට ඇති ව්‍යස්ථාපිත අයිතිවාසිකම් පහදා දුන් අධිකරණය චුදිතයන්ට අවශ්‍ය නම් සාක්ෂි කුඩුවට පැමිණි දිවුරුම් පිට සාක්ෂි ලබා දිය හැකි බවද බවත් එසේ ලබා දෙන සාක්ෂි හරස් ප්‍රශ්න වලට භාජනය වන බවත් දෙමල භෂා පරිවර්තකගේ මාර්ගෙයෙන් කරුණු පහදා දුන්නා.
එමෙන්ම අවශ්‍ය නම් සාක්ෂි කුඩුව නොපැමිණ විත්තිකුඩුවේ සිට සාක්ෂි ලබා දිය හැකි බවත් එකී සාක්ෂි හරස් ප්‍රශ්න වලට භාජනය නොවන බවද පහදා දුන්නා.
එසේම චුදිතයන්ට පෙර කී කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන විත්ති කුඩුවේ නිහඬ සිටිමටද හැකි බව පහදා දෙනු ලැබුවා.
ඒ,අනුව විත්තිකරුවෝ සිය ස්ථාවරය අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.
නඩුවේ විත්තිකරුවෝ 25ක් නම් කර සිටි අතර 2021 වසරේදී එක් විත්තිකරුවකු මිය ගොස් තිබෙනවා.
ඒ, අනුව විත්තිකරුවන් 24 දෙනෙකුට 2021.10.04 අධි චෝදනා භාර දුන් අතර, 2022.10.15 වනදා අධිචෝදනා කියවා දුන්නා.
මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ (සභාපති), සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන සෙසු මහාධිකරණ
විනිසුරුවරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව විභාග වනවා.
පැමිණිල්ලේ සාක්ෂි විමසීමේදී විත්තිකරුවන් දුන් පාපෝච්චාරණ කිහිපයක් ස්වේච්ඡාවෙන් දී ඇති බව ඒ සඳහා පැවැති සත්‍යතා පරීක්ෂණයේදී සනාථ වුණා.
චූදිතයින්ගේ පාපොච්චාරණ 10ක් සාක්ෂි ලෙස පිළිගෙන තිබෙනවා.
සගවා තිබූ බෝම්බ පුපුරණ ද්‍රව්‍ය, කඩු, ගිනි අවි, බෝම්බ සෑදීමට ගන්නා රසායනික ද්‍රව්‍ය ආදී නඩු භාණ්ඩ 2076ක් නඩු විභාගයේ දී ලකුණු කර තිබෙනවා.
රජයේ රස පරීක්ෂක වාර්තා ගණනාවක් සහ ඩී.එන්.ඒ වාර්තා සහ වෛද්‍ය වාර්තා සහ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා විශාල ප්‍රමාණයක්ද සාක්ෂි ලෙස ලකුණු කර තිබෙනවා.
නඩු විභාගයේදී සහරාන්ගේ මරාගෙන මැරෙන කණ්ඩායමේ සාමාජිකයකු රජයේ සාක්ෂිකරුවකු වෙමින් කරුණු රැසක් අනාවරණය කරනු ලැබුවා.
ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර, අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා, අධිනීතිඥවරුන් වන සජිත්ත බණ්ඩාර, ශක්ති ජාගොඩආරච්චි, අකිලා දල්පදාදු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත නීතිඥ කණ්ඩායමක් පැමිණිල්ල මෙහෙයවනවා.
පාස්කු ප්‍රහාර මාලාවට අදාළ මහ නඩුවේ පැමිණිල්ලේ තීරණාත්මක සාක්ෂි විභාග කෙරෙන වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින්, එම නඩුව විභාග කරන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ ආරක්ෂාව වහාම ක්‍රියාත්මක වන පරිදි දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් යතුරුපැදි සංඛ්‍යාව ඉහළ නංවා තිබෙනවා.
.













