සියලු මාර්ග සංවර්ධන කටයුතු නිසි කලට අවසන් කරන්න – ජනපතිගේ උපදෙස්

ග්‍රාමීය මාර්ග සංවර්ධනයේදී දිස්ත්‍රික් කමිටු රැස්වීම්වලදී ඉදිරිපත් වන කඩිනම් ජනතා අවශ්‍යතාවලට ප්‍රමුඛතාව ලබා දෙමින් එම කටයුතු ක්‍රියාත්මක කරන ලෙසත්, ආර්ථික ගැටලුකාරී තත්ත්වය හමුවේ 2022 වසරේදී නවතා දමන ලද සියලු මාර්ග සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නා.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ මහාමාර්ග අමාත්‍යාංශය මගින් 2026 වසරේදී ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනයට සහ 2027 පූර්ව අයවැය සාකච්ඡාවකට අද (11) ජනාධිපති කාර්යාලයේදී එක් වෙමින්.

සියලු මාර්ග සංවර්ධන කටයුතු නිසි කාලසීමාව තුළ නිම කරමින් ජනතාවට කාර්යක්ෂම ප්‍රවාහන පද්ධතියක් උරුම කර දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා.

මහාමාර්ග අමාත්‍යාංශය වෙනුවෙන් 2026 අයවැයෙන් සහ දිට්වා ආපදා තත්ත්වය හමුවේ වෙන් කෙරුණු රුපියල් බිලියන 402ක ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බැලුවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ 4වන අදියර යටතේ යෝජිත කුරුණෑගල – ගලේවෙල මාර්ගයේ සහ රුවන්පුර අධිවේගී මාර්ගයේ සැලසුම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම දක්වා කොටස සහ වරාය පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම්, මධ්‍යම අධිවේගී මාර්ගයේ 3වන අදියර යටතේ ක්‍රියාත්මක පොතුහැර – ගලගෙදර දක්වා කොටස ඇතුළු අධිවේගී මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය සහ ප්‍රගතිය මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනය කෙරුණා.

අධිවේගී මාර්ග පද්ධතියේ ප්‍රවේශ සහ අන්තර් හුවමාරු සම්බන්ධතා පිළිබඳ මතුව ඇති ගැටලු සහ ඒ සඳහා ලබා දිය හැකි විසඳුම් පිළිබඳවත්, කුරුණෑගල – ගලේවෙල මාර්ගය ඉදිකිරීමේදී වන්දි ලබා දීමේ ක්‍රියාවලියට අදාළව මතුව ඇති ගැටලු පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක් වුණා.

බේස්ලයින් මාර්ගය කිරුළපන මංසන්ධියේ සිට කොළඹ – හොරණ දක්වා දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය සහ බදුල්ල – චෙන්කලාඩි මාර්ගයේ සංවර්ධන කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා.

දිවයින පුරා මහාමාර්ග නඩත්තු කිරීමේ වැඩසටහන පිළිබඳවද සාකච්ඡා වූ අතර මාර්ග වසර 10කින් අලුත්වැඩියා කළ යුතු වුවද, බොහෝ මාර්ග වසර 15කට වැඩි කාලයක් අලුත්වැඩියා නොකිරීම නිසා ඒවා ප්‍රතිසංස්කරණය කළ යුතු තත්ත්වයක් මතුව ඇති බව අමාත්‍යාංශ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.එසේ වසර 15ක කාලයක් තුළ කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොකළ මාර්ග (A සහ B) 130ක් පමණ ඇති බවට මෙහිදී කරුණු අනාවරණය කෙරුණා.

මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක පාලම් සහ ගුවන් පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතියද මෙහිදී විමසා බැලුණු අතර දිට්වා ආපදා තත්ත්වය හමුවේ බදුල්ල – බිබිල මාර්ගයේ මතුව ඇති තත්ත්වය කළමනාකරණය කර ගනිමින් එම මාර්ගයේ සංවර්ධන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම පිළිබඳවද අවධානය යොමු වුණා.

එසේම, මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක ප්‍රවාහන සම්බන්ධතා සහ වත්කම් කළමනාකරණ ව්‍යාපෘතිය සහ මාර්ගවල සහ නගරාශ්‍රිත වාහන තදබදය කළමනාකරණය කිරීමට සහ දැනට පවතින දත්ත පද්ධතිය නවීකරණය කිරීමට ක්‍රියාත්මක National Traffic Database ව්‍යාපෘතිය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා.

මෙම ව්‍යාපෘතිය පොලිසිය, මාර්ග ආරක්ෂණ අංශ සහ මාර්ග කළමනාකරණ අංශ ඒකාබද්ධ වූ ස්මාර්ට් මාර්ග සංඥා සහ කැමරා පද්ධතියක් ලෙස ඉදිරි වසර කිහිපය තුළ වැඩිදියුණු කිරීමට නියමිත අතර මාර්ග තදබදය පාලනය කිරීම සහ විනයගරුක මාර්ග සංස්කෘතියක් ඇති කිරීම එහි අරමුණයි.

දැනට ක්‍රියාත්මක ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී ඉදිරිපත් කෙරෙන මහජන අවශ්‍යතාවන්ට ප්‍රමුඛතාව ලබා දෙමින් එම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

එමෙන්ම ග්‍රාමීය මාර්ග සංවර්ධනයට අදාළව දිස්ත්‍රික් කමිටු රැස්වීම්වලදී ඉදිරිපත් කෙරුණු ඉල්ලීම් ක්‍රියාත්මක වීමේ ප්‍රගතියද ජනාධිපතිවරයා විමසා බැලුවා.

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රමානුකූලව දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දීමේ වැදගත්කම සහ කුඩා මාර්ග සංවර්ධනය කිරීමේ වගකීම අදියර වශයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පැවරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වුණා.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම,ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු ආසිරි කරුණාවර්ධන සහ මුදල් අමාත්‍යාංශයේ සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51