පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක,පසුගිය දා ඒකාබද්ධ විපක්ෂ රැස්වීමක දී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
වත්මන් හමුදාපතිතුමා ජූලි මස 02 දින පළතුරු වට්ටියක් රැගෙන කාදිනල්ගේ ගෙදරට ගිය බවත්, එදිනම ඔහුගේ සේවා කාලය නිමා වන බවත්, ‘පළතුරු වට්ටිය උස්සාගෙන ගිය හමුදාපති 2028 ජනවාරි හෝ පෙබරවාරි වෙනකන් දීර්ඝ කර ඇති’ බවත් චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇති බවට පෙන්වා දෙන සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා පවසන්නේ අති උතුම් කාදිනල් හිමිපාණන් සමුළුවකට සහභාගි වීම සඳහා රෝමයේ වතිකානයට ගොස් ආපසු දිවයිනට පැමිණියේ ජූලි මස 03 වන දින බවයි.
ඒ අනුව හමුදාපතිතුමා සහ කාදිනල් හිමිපාණන් අතර කිසිදු හමුවීමක් සිදුව නොමැති බවටත් චාමර සම්පත් මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය සම්පූර්ණයෙන් ම අසත්‍ය ප්‍රකාශයක් බව අවධාරණය කරන සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා, එම ප්‍රකාශය සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ අනුව මෙම වෛරී ප්‍රකාශය සම්බන්ධයෙන් චාමර සම්පත් මන්ත්‍රීවරයාට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කිරීම පිළිබඳව අති උතුම් කාදිනල් හිමිපාණන්ගේ නීතිඥයින් මේ වනවිටත් කටයුතු කරමින් සිටින බව ද සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා පවසනවා.













