කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථ ඇසළ මහා පෙරහැර මංගල්‍යය – 2026 පැවැත්වීම පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (02) පස්වරුවේ පැවැත් වුණා.
මෙවර ඇසළ උත්සවය නිමිත්තෙන් 63 වන වරටත් අගෝස්තු මස 02 සිට 07 වනදා දක්වා ඇසළ මහා පෙරහැර මංගල්‍යය පැවැත්වෙන අතර, එම පෙරහැර මංගල්‍යය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට රාජ්‍ය අනුග්‍රහය ලබාගැනීම පිළිබඳව සහ ඊට අදාළ පෙර සූදානම සම්බන්ධව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා.
අගෝස්තු මස 07 වනදා රාත්‍රී අවසන් මහා පෙරහැර වාලුකාරාම පාර, ගාලුපාර, කොල්ලුපිටිය මංසන්ධියෙන් ලිබර්ටි වටරවුම ඔස්සේ ආර්. ඒ. ද මෙල් මාවත හරහා වීථි සංචාරය කර විහාරස්ථානය වෙත පැමිණීමට නියමිතයි.
පෙරහැර මංගල්‍යය සාර්ථක කර ගැනිම වෙනුවෙන් අනුග්‍රහය දක්වන සියලුම රාජ්‍ය ආයතන සහ මූල්‍යමය අනුග්‍රහය දක්වන රාජ්‍ය සහ පෞද්ගලික ආයතන විසින් ඊට ලබාදෙන දායකත්වය සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.
පසුගිය කාලයේ පැවති කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය නිසා වාලුකාරාම පෙරහැර මංගල්‍යය පැවැත්වීමට නොහැකි වූ බවත්, මේ වන විට රටේ පවතින යහපත් තත්ත්වය සැලකිල්ලට ගෙන මෙවර පෙරහැර මංගල්‍යය පැවැත්වීමට තීරණය කළ බවත්, පෙරහැර සාර්ථකව පැවැත්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු රජය දක්වන සහාය සම්බන්ධව ප්‍රශංසාව හිමිවන බවත් වාලුකාරාමය ඇතුළු පංච මහා විහාරස්ථානයන්හි විහාරාධිපති, කොළඹ දිසාව සහිත ඌව පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ පැවසුවා.













