ඉන්දු සාගර කලාපයේ සාගර ආරක්ෂාව, නාවික සහයෝගීතාව සහ හදිසි ආපදා කළමනාකරණය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව ඒකාබද්ධව සංවිධානය කළ විශේෂ සෙවීම් සහ මුදාගැනීමේ වැඩමුළුව සහ උපායමාර්ගික අභ්‍යාසය පසුගියදා ඉන්දියාවේ චෙන්නායි නුවරදී සාර්ථකව පවත්වා තිබෙනවා.
පසුගිය ජූනි 17 වනදා සිට 19 වනදා දක්වා දින තුනක් පුරා චෙන්නායි හි පිහිටි මුහුදු ගවේෂණ සහ මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේදී මෙම විශේෂ ඒකාබද්ධ අභ්‍යාසය පවත්වනු ලැබුවේ දෙරට අතර පවතින සාගර හවුල්කාරිත්වය නව මානයකට ඔසවා තබමින්.
මෙම විශේෂ පුහුණු වැඩසටහන සඳහා ඉන්දු සාගර කලාපීය සංගමයේ සාමාජික රටවල මුදාගැනීමේ විශේෂඥ නිලධාරීන් මෙන්ම ඉන්දු සාගර කලාපීය තොරතුරු ඒකාබද්ධ කිරීමේ මධ්‍යස්ථානයේ ප්‍රධාන නියෝජිතයන් රැසක් ද සහභාගී වූහ.
ඔස්ට්‍රේලියානු සාගර සම්පත් සහ ආරක්ෂාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය විසින් මෙම වැඩසටහනේ තාක්ෂණික සහ පුහුණු මෙහෙයවීම් සිදුකරනු ලැබුවා.
මෙහි ප්‍රධානතම අරමුණ වූයේ මුහුදු මාර්ගවල සිදුවන හදිසි නෞකා අනතුරු, ස්වාභාවික ව්‍යසනයන් සහ වෙනත් ආපදා අවස්ථාවලදී ජාත්‍යන්තර ක්‍රමවේදයන්ට අනුව කඩිනමින් ක්‍රියාත්මක වෙමින් මිනිස් ජීවිත සහ දේපළ බේරාගැනීමේ ප්‍රායෝගික ධාරිතාවන් ඉහළ නැංවීමයි.
ඉන්දු සාගර කලාපීය සංගමයේ සාගර ආරක්ෂාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ වත්මන් සභාපතිත්වය දරන ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සමඟ එක්ව කලාපයේ අනෙකුත් කුඩා රටවල මුදාගැනීමේ හැකියාවන් සංවර්ධනය කිරීමට මෙහිදී විශේෂ අවධානයක් යොමු කළා.
මෙමඟින් දෙරටේ නාවික සහ වෙරළාරක්ෂක බලකායන් අතර පවතින අන්‍යෝන්‍ය සන්නිවේදනය, බුද්ධි තොරතුරු හුවමාරුව සහ හදිසි අවස්ථාවලදී ඒකාබද්ධව ක්‍රියා කිරීමේ හැකියාව තවදුරටත් වර්ධනය වනවා.
නැඟී එන භූ-දේශපාලනික අභියෝග හමුවේ ඉන්දු සාගර කලාපය වඩාත් ආරක්ෂිත සහ විවෘත කලාපයක් ලෙස පවත්වාගෙන යාමට මෙම ඔස්ට්‍රේලියා – ඉන්දු සාගර හවුල්කාරිත්වය අතිශය වැදගත් සන්ධිස්ථානයක් වනු ඇති බව ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා.













