අගෝස්තු මස 10 වනදා අපොස උසස් පෙළ විභාගය පවත්වන බවට ගනු ලැබූ තීරණය හදිසියේ ගනු ලැබු තීරණයක් නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව පවසනවා.
එම දිනය පිළිබඳ තීරණය සියලු කරුණු සලකා බලා නිසි කාලය තුළ තව දුරටත් දින වකවානු ලබාදෙමින් ගනු ලැබූ තීරණයක් බවයි අධ්‍යාපන ලේකම්වරයා පවසන්නේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය සාකච්ඡා එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
අපොස උසස් පෙළ විෂය නිර්දේශයන් ආවරණය කිරීම සඳහා දින 300ක් නියම කර ඇති බව සඳහන් කළ ඔහු උසස් පෙළ විෂය නිර්දේශයන් ආරම්භ කළ දිනයේ සිට විභාගය පැවැත්වෙන දිනය දක්වා දින 343ක් ඇති බවයි ඔහු අවධාරණය කළේ.
එමෙන්ම දෙවනවර විභාගය පෙනී සිටීමට සූදානම්වන සිසුන් වෙනුවෙන් විභාගට සුදානම්වීම සඳහා මාස හතරකුත් දින 10ක කාලයක් ලබා දී ඇති බවයි අධ්‍යාපන ලේකම්වරයා පැවසුවේ.
2025 වර්ෂයට අදාළ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල 2026 වසරේ මාර්තු මස 31 වන දින නිකුත් කළ බවත් ලේකම්වරයා මෙහිදී අවධාරණය කර සිටියා.
අගෝස්තු මස 10 වනදා විභාගට පැවැත්වීම තුළ කිසිඳු දරුවෙකුට විශේෂ අසාධාරණය සිදුනොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ, අනුව 2026 අපොස උසස් පෙළ විභාග පැවැත්වීමේ දිනය වන අගෝස්තු මස 10 වනදා දිනයේ කිසිදු වෙනසක් සිදුනොවන බවත් ඔහු මෙහිදී පවසා සිටියා.













