ශ්රී ලංකාවේ, කටාර් රාජ්ය තානාපති, ගරු හමාඩ් බින් මොහොමඩ් අල්-දෝසාරි (H.E Hamad bin Mohammed Al-Dosari) ,කථානායක වෛද්ය ජගත් වික්රමරත්න පාර්ලිමේන්තුවේදී පසුගිය 23 වැනිදා හමුවුණා.
එහිදී දෙරට අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් තහවුරු කරමින්, දෙරට අතර සහයෝගීතාව ඉදිරියටත් ශක්තිමත්ව පවත්වාගෙන යාමට ඇති කැපවීම අවධාරණය කෙරුණා.
මෙම වසරේදී ශ්රී ලංකාව සහ කටාර් රාජ්යය අතර රාජ්යතාන්ත්රික සබඳතාවලට වසර 50ක් සපිරීම ද මෙහිදී සිහිපත් කෙරුණා.
දෙරට අතර පවතින මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, දෙරටේම ජනතාවගේ යහපත උදෙසා සහයෝගීතාව පුළුල් කර
ගැනීමටත්, නව සහයෝගීතා අවස්ථා හඳුනා ගැනීමත් දෙපාර්ශ්වයම අවධාරණය කළා.
තානාපතිවරයා පිළිගත් කථානායකවරයා, ශ්රී ලංකාව සහ කටාර් රාජ්යය අතර පවතින ශක්තිමත් හා සුහද සබඳතා අවධාරණය කළ අතර, ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් වර්ධනය කිරීම සඳහා ඉහළ මට්ටමේ රාජ්ය තාන්ත්රික හමුවීම්
පවත්වාගෙන යාමේ වැදගත්කම පෙන්වා දුන්නා.
දෙරට අතර මෑතකදී සිදු වූ ඉහළ පෙළේ සංචාර සිහිපත් කළ කථානායකවරයා, එමගින් අන්යෝන්ය අවබෝධය
ශක්තිමත් කිරීමට සහ සහයෝගීතාව සඳහා පවතින අවස්ථා පුළුල් කිරීමට විශාල දායකත්වයක් ලැබුණු බව සඳහන් කළා.
කටාර් රාජ්යයේ සේවය කරන ශ්රී ලාංකික ශ්රමිකයන්ගේ වටිනා දායකත්වය ද කථානායකවරයා මෙහිදී අගය කළා.
විශේෂයෙන්ම කටාර් රාජ්යයේ සංවර්ධනයට ඔවුන් ලබා දෙන දායකත්වය මෙන්ම විදේශ ප්රේෂණ හරහා ශ්රී ලංකා ආර්ථිකයට ලබා දෙන දායකත්වය ද කථානායකවරයා පෙන්වා දුන්නා.
ශ්රී ලංකාව වෙත කටාර් රාජ්යය ලබා දෙන සහාය පිළිබඳව සිය කෘතඥතාව පළ කළ කථානායකවරයා, දෙරටේම අන්යෝන්ය යහපත උදෙසා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම ද අවධාරණය කළා.
ජාත්යන්තර හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීමේදී පාර්ලිමේන්තු රාජ්යතාන්ත්රික සබඳතාවල වැදගත්කම පෙන්වා දුන් කථානායකවරයා, ශ්රී ලංකා – කටාර් පාර්ලිමේන්තු මිත්රත්ව සංගමයක් පිහිටුවීමට ශ්රී ලංකාවේ සූදානම ද ප්රකාශ කළා.
එමඟින් දෙරටේ පාර්ලිමේන්තු අතර සංවාදය, අත්දැකීම් හා යහපත් භාවිතයන් හුවමාරු කර ගැනීම මෙන්ම අන්යෝන්ය සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා අවස්ථාව සැලසෙන බව ද කථානායකවරයා පැවසුවා.
විශ්වාසවන්ත මිතුරකු සහ හවුල්කරුවකු ලෙස ශ්රී ලංකාව සමඟ සමීපව කටයුතු කිරීමට කටාර් රාජ්යය කැපවී සිටින බව තානාපති අල්-දෝසාරි මහතා මෙහිදී යළි තහවුරු කළා.
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ සහ ජනතාව අතර පවතින සබඳතා වඩාත් සමීප කර ගැනීමේ වැදගත්කම ද ඒ මහතා අවධාරණය කරනු ලැබුවා.
එමෙන්ම, සංචාරක, වෙළෙඳ හා ආයෝජන ඇතුළු දෙරටටම වැදගත් වන ක්ෂේත්ර රැසක සහයෝගීතාව පුළුල් කර ගැනීමට ඇති අවස්ථා පිළිබඳව ද තානාපතිවරයා පෙන්වා දුන්නා.
දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්රත්වය දෙරටේම ජනතාවට ප්රායෝගික ප්රතිලාභ අත්කර දෙන අයුරින් ඉදිරියට ගෙන යාම සඳහා නව සහයෝගීතා අවස්ථා ගවේෂණය කිරීමටත්, පවතින හවුල්කාරිත්වයන් තවදුරටත් ශක්තිමත් කිරීමටත්
දෙපාර්ශ්වය සිය කැපවීම යළි තහවුරු කළා.
මෙම සංචාරය අතරතුරදී තානාපති අල්-දෝසාරි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ වාස්තු විද්යාත්මක වටිනාකම සහ ඒ අවට පරිසරයේ ස්වාභාවික සුන්දරත්වය පිළිබඳව සිය ප්රසාදය පළ කළා.
එසේම, පාර්ලිමේන්තු පරිශ්රයේ චාරිකාවකට ද එක්වුණා.
