පසුගිය 28 වැනිදා තමන් ඇතුළු පිරිසක් මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ නිවස ඉදිරිපිට දී සාමකාමී විරෝධතාවයක් පැවැත්වූ බවත්, ඔහුගේ නිවසට හානි කිරීමේ අරමුණක් නොපැවති බවත්, නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර පවසනවා.
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් සහ එම මුදල ආපසු ලබා ගැනීම සම්බන්ධයෙන් හර්ෂණ සූරියප්පෙරුමගෙන් ප්‍රශ්න කිරීමට ඔහුගේ නිවසට ගිය බවයි, සුගීශ්වර බණ්ඩාර පෙන්වා දෙන්නේ.
ඔහු මේ බව සඳහන් කළේ අද (05) මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
විරෝධතාවය පැවති දිනයේ සිදු වූ පහරදීම සම්බන්ධයෙන් සහ පහරදුන් පුද්ගලයන් සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර සහිතව පසුගිය 29 වැනිදා තලංගම පොලිසිය වෙත පැමිණිලි කර තිබුණ ද, ඒ පිළිබද කිසිඳු විමර්ශනයක් සිදුව නොමැති බව ද සුගීශ්වර බණ්ඩාර පවසනවා.
ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ මේ හේතුවෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වී ඇති බැවින් අද දිනයේ දී මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණ, ඒ සම්බන්ධයෙන් සොයා බලා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිසියට උපදෙස් ලබාදෙන ලෙසට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි.













