ලාෆ් ගෑස්වල හිඟයක් මේ වනවිට වෙළඳපොළේ පවතින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
එමෙන්ම එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් සඳහන් කළේ ලිට්‍රෝ ගෑස්වල හිඟයක් නොමැති බවයි.
ඒ, අනුව සභාපතිවරයා පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ අනවශ්‍ය ලෙස ලිට්‍රෝ ගෑස් තොග රැස්කර ගැනීමෙන් වැළකී සිටින ලෙසයි.
අවශ්‍යවන තරම් ගෑස් තොග ලිට්‍රෝ සමාගම පවතින බව සඳහන් කළ සභාපතිවරයා උපරිම ධාරිතාවයෙන් ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමට මේ වනවිට කටයුතු කරන බවත් සඳහන් කළා.
ලාෆ් ගෑස් හිඟයත් සමඟ එම ගෑස් වර්ගය භාවිත කරමින් සිටි ඇතැම් පාරිභෝගිකයින් ලිට්‍රෝ ගෑස්වලට මාරුවීමත් සමඟ එම ගෑස්වලට විශාල ඉල්ලුමක් නිර්මාණය වී ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
ඒ, අනුව ගෑස් සම්බන්ධයෙන් අනියත බියක් ඇති නොකරගන්නා ලෙසයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියේ.
මේ අතර ගෑස් තොග අනවශ්‍ය ලෙස රැස්කරගෙන සිටින සහ වැඩි මිලට ගෑස් අලෙවිකරනු ලබන පුද්ගලයින් සම්බන්ධයෙන් වැටලීම් සිදුකර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු අවධාරණය කර සිටියා.
එමෙන්ම ලාෆ් ගෑස් තොග රැගත් නැව ලබන 25 වනදා වනවිට දිවයිනට පැමිණෙනු ඇති බවත්, ඒ අනුව ලබන 26 වනදා සිට ලාෆ් ගෑස් වෙළඳපොළට සැපයීමට එම සමාගම සූදානමින් සිටින බව අදාළ සමාගම දැනුම් දුන් බවයි සභාපතිවරයා සඳහන් කළේ.













