ඕස්ට්‍රේලියානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදී තිබෙනවා.
38 හැවිරිදි වියේ පසුවන මැක්ස්වෙල් 2025 වසරේ දී එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් දැනටමත් සමුගෙන සිටි අතර, මේ වන විට ඕස්ට්‍රේලියානු 20-20 කණ්ඩායමෙන් මෙන්ම ඔහු නියෝජනය කළ ප්‍රාන්ත කණ්ඩායමෙන්ද නිල වශයෙන් සමුගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වසර මුල දී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවති විස්සයි-විස්ස ලෝක කුසලාන තරඟාවලියේදී අවසන් වරට ඕස්ට්‍රේලියාව නියෝජනය කළ මැක්ස්වෙල්, සිය ක්‍රිකට් දිවියේදී විස්සයි-විස්ස ජාත්‍යන්තර තරඟ 130කට සහභාගී වී තිබෙනවා.
එහිදී ඔහු ලකුණු 28.97ක සාමාන්‍යයක් සහ 154.42ක ප්‍රහාරක වේගයක් රඳවා ගනිමින් ලකුණු 2,897ක් රැස් කරගෙන තිබෙනවා.
එමෙන්ම ඔහු පන්දු යවන්නෙකු ලෙස කඩුලු 51ක් දවා ගෙන ඇති අතර, පන්දු රකින්නෙකු ලෙස උඩ පන්දු 62ක් අල්ලා රැකගෙන ඇති බව වාර්තාවල සඳහන්.
“මගේ රට වෙනුවෙන් මෙතරම් කාලයක් ක්‍රීඩා කිරීමට ලැබීම ගැන මම ඉමහත් කෘතඥතාව පළ කරනවා. එමෙන්ම, ක්‍රීඩාවට පිවිසීමට බලාපොරොත්තු වන දරුවන්ට යම් ආදර්ශයක් ලබාදීමටත් මට හැකි වේ යැයි සිතනවා. එනම්, ඔවුන්ට වෙනස් ආකාරයකින් ක්‍රීඩා කිරීමටත්, තමන්ගේ සැබෑ ස්වභාවය විවෘතව පෙන්වීමටත්, කිසිවකට බිය නොවී තමන් ලෙසම සිටීමටත් දිරිගැන්වීමක් ලබාදීමටයි.” යනුවෙන් සිට විශ්‍රාම යෑම නිවේදනය කරමින් මැක්ස්වෙල් සඳහන් කර සිටියා.
මැක්ස්වෙල් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග හතක් සහ එක්දින තරග 149 ක් ක්‍රීඩා කළ අතර, වික්ටෝරියා සමඟ පුළුල් හා ඵලදායී පළමු පෙළ සහ ලිස්ට් ඒ වෘත්තීය ජීවිතයක් භුක්ති වින්දා.
ඔහු ඉදිරියේදී පැවැත්වෙන බිග් බෑෂ් ලීගයේ මෙල්බර්න් ස්ටාර්ස් ඇතුළුව විස්සයි විස්ස ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩා කරනු ඇති.
