Rajapura Handi Oil
Rajapura Diabetic Powder

අද රාත්‍රීයේ අහසේ දිදුලන්නට යන දීප්තිමත්, විශාල ‘සුපිරි සඳ’

අද (24) රාත්‍රියේ සාමාන්‍ය පූර්ණ චන්ද්‍රයාට වඩා විශාලත්වයකින් සහ වැඩි දීප්තියකින් යුතුව චන්ද්‍රයා නිරීක්ෂණය කිරීමේ දුලභ අවස්ථාවක් උදාවන බව අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර ප්‍රකාශ කරනවා.

මෙම සංසිද්ධිය ‘සුපිරි සඳ’ (Supermoon) ලෙස හඳුන්වනු ලබන බව ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම සාමාන්‍ය අවස්ථාවකදී දර්ශනය වන චන්ද්‍රයාට සාපේක්ෂව මෙහිදී චන්ද්‍රයා වඩාත් විශාලව හා දීප්තිමත්ව දිස්වීම විශේෂත්වයක් බව ඔහු සඳහන් කරනවා.

ගිහාන් වීරසේකර කියා සිටියේ චන්ද්‍රයා පෘථිවිය වටා ගමන් කරන්නේ ඉලිප්සාකාර කක්ෂයක බවත්, පෘථිවියේ සිට චන්ද්‍රයාට ඇති සාමාන්‍ය දුර කිලෝමීටර් 384,000ක් පමණ වන බවයි.

එම කක්ෂයේ ගමන් කිරීමේදී ඇතැම් අවස්ථාවල චන්ද්‍රයා පෘථිවියට වඩාත් ආසන්නව ගමන් කරන බව ඔහු පෙන්වා දෙනවා.

එවැනි ආසන්න වීමක් අද(24) රාත්‍රියේදී සිදුවන අතර, එහිදී පෘථිවියේ සිට චන්ද්‍රයාට ඇති දුර කිලෝමීටර් 360,000ක් පමණ දක්වා අඩුවන බව ඔහු ප්‍රකාශ කරනවා.

සාමාන්‍ය දුරට සාපේක්ෂව කිලෝමීටර් 25,000ක පමණ අඩුවීමක් මෙහිදී සිදුවන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස චන්ද්‍රයා සාමාන්‍ය අවස්ථාවකට වඩා විශාලව හා දීප්තිමත්ව නිරීක්ෂණය කළ හැකි බවත් ගිහාන් වීරසේකර ප්‍රකාශ කරනවා.