මව විදේශගතවීම නිසා සිය මිත්තනිය භාරයේ ජීවත් වූ වයස අවුරුදු 16ට අඩු බාලවයස්කාර දැරියක් රවටා ඇගේ නීත්‍යානුකූල භාරකාරත්වයෙන් රැගෙන ගොස් අපහරණය කිරීම හා දූෂණය කිරීම ඇතුළු චෝදනා හතරකට වරදකරු කරනු ලැබූ මැදිවියේ පසුවන විවාහක උප පොලිස් පරීක්ෂකවරයෙකුට බරපතල වැඩ සහිත වසර පනහක සිර දඬුවමක් නියම කළ කුරුණෑගල පූර්වගාමී මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා එකී සිර දඬුවම වසර 15 කින් එක වර ගෙවී යන ලෙස ලබාදීමට නියෝග කරනු ලැබුවා.
වින්දිත තරුණියට රුපියල් ලක්ෂ දහයක වන්දියක් ගෙවීමට ද අමරසිංහ හේවගේ රුවන් අමරසිංහ නමැති විත්තිකරුට නියම කළ විනිසුරුවරයා වරදකරු කරනු ලැබූ චෝදනා හතරට වෙන් වෙන්ව රුපියල් පනස්දහස බැගින් දඩ ගෙවීමට ද නියෝග කළා.
එවකට එම බාල වයස්කාර තරුණිය පදිංචි ප්‍රදේශයේ පිහිටි පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ විත්තිකාර උප පොලිස් පරීක්ෂකවරයා එම තරුණියට අසල්වැසියෙකුගේ සිදුවූයේ යැයි කියන ලිංගික අතවරයකට අදාළව ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන භාරව සිටි නිලධාරියා බවත් එකී විමර්ශන සිදු කරන මුවාවෙන් පැමිණ ඇගේ පියා සමඟ යම්කිසි හිතවත්කමක් ගොඩනගාගෙන වැඩිහිටියන් නිවසේ නොමැති අවස්ථාවක නිල ඇඳුමෙන් මෙන්ම සිවිල් ඇඳුමෙන්ද සැරසී නිවසට පැමිණණ තිබුණා.
එකල පාසල් සිසිවියකු වූ එම බාල වයස්කාර දැරිය ඇසුරු කළ ඇගේ පෙම්වතා සම්බන්ධයෙන් ඒ වන විට පොලිස් විමර්ශනයක් ආරම්භ කොට තිබූ බවත් ඇගේ පෙම්වතා එම නඩු කටයුත්තෙන් බේරාදීමට නම් තමා සමඟ ලිංගික ඇසුරක් පවත්වන ලෙසටත් යෝජනා කර තිබූ විත්තිකරු එක් දිනක් රාත්‍රී අටට පමණ ඇගේ නිවසට පැමිණ විදුලිය විසන්ධි වී තිබූ අවස්ථාවක ඇයව ඇගේ කාමරයට කැඳවාගෙන ගොස් දූෂණය කර තිබූ බවත් සාක්ෂි මගින් අනාවරණය වී තිබෙනවා.
ඉන්පසු විටින් විට ඇගේ නිවසට පැමිණ ඉක්මනින් පෙම්වතා මුදා හැරීමට පියවර ගන්නා බවට පොරොන්දු ලබාදෙමින් ඇය තමඟ ලිංගික සංසර්ගයක යෙදී තිබුණු විත්තිකරු නිල ඇඳුමෙන් සැරසී ඇගේ පාසල අසලට පැමිණ ඇයව පාසල් නිල ඇඳුමෙන්ම යතුරුපැදියක නංවාගෙන සිය නිවසට රැගෙන ගොස් ලිංගික සංසර්ගයක යෙදී තිබූ බවත්, එලෙස අවස්ථා කීපයකදීම ඇයව ඔහුගේ නිවසට මෙන්ම වෙනත් ප්‍රදේශවල පිහිටි සංචාරක නිකේතන වෙතද රැගෙන ගොස් තිබූ බවත් සාක්ෂි මගින් අනාවරණය වී තිබුණා.
එම සිසුවිය නිරතුරුවම පාසල් නොයන බව නිරීක්ෂණය කළ ඇගේ මිතුරියන් විසින් එම සිසුවියගේ පියාට දැනුම්දීමෙන් පසුවයි මෙම අපරාධය අනාවරණයේ වී ඇත්තේ.
පසුව අධිකරණ නියෝග මත ඇයව ළමා නිවාසයක රඳවා තිබූ බවත්, ඒ වන විට දුරබැහැර ප්‍රදේශයක පිහිටි පොලිස් ස්ථානයකට මාරු කර යවා තිබූ විත්තිකරු එම තරුණිය එළිමහනේ දිය නාමින් සිටියදී අවට පිහිටි තාප්පයේ තිබූ කුඩා සිදුරකින් මඤ්ඤකා ලීයක ඇමුණු ලිපියක් මගින් සිය සබඳතාවය පිළිබඳ සැබෑ තොරතුරු පොලිසියට හෝ වෙනත් කිසිවෙකුට හෙළි නොකරන ලෙසටත් කොහේ හිටියත් ඇයව තමා ළඟට ගන්නා බවටත් දන්නවා තිබුණා.
ඉදිරිපත් වූ සියලු සාක්ෂි හා විශේෂඥ අධිකරණ වෛද්‍ය වාර්තා සලකා බැලූ විනිසුරුවරයා එම චෝදනා හතරටම විත්තිකරු වරදකරු බවට නිගමනය කොට සිර දඬුවම් නියම කළා.
