දෙමටගොඩ ප්‍රදේශයේ පොල් තෙල් සමාගමකින් රුපියල් කෝටි 06 ට ආසන්න වටිනාකමින් යුත් පොල්තෙල් ලබාගෙන ඒ වෙනුවට අගරු චෙක්පත් ලබාදී ව්‍යාපාරිකයක්ට රුපියල් කෝටි 06 ක පමණ වංචාවක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටි මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමි අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.
කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි ක්‍රිෂ්ණමූර්ති කලෙයි චෙල්වම් නැමැති ව්‍යාපාරිකයෙක් 2022 සහ 2023 යන වසරවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිලි කීපයකට අදාළ නඩු 04 ක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම සැලකිල්ලට ගනිමින් එසේ වරෙන්තු නිකුත් කරනු ලැබුවා.
සැකකාර හිමි නම “බ්‍රෙකෝ ඔයිල් ඇන්ඩ් ෆෘට් ප්‍රයිවට් ලිමිටඩ්” නැමැති ආයතනයක් පවත්වාගෙන ගොස් එහි අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් පෙනී සිටිමින් අදාළ ව්‍යාපාරිකයාගෙන් රුපියල් පන් කෝටි විසි දෙලක්ෂ පනස් දහස් නවසිය පනහක් වටිනා පොල්තෙල් කිලෝ 84,240 ක් ලබාගෙන ඒ වෙනුවට අගරු චෙක්පත් 08 ක් ලබාදී මෙම වංචාව සිදුකර ඇති බවද පැමිණිල්ල මෙහෙයවූ කොළඹ වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාශයේ විජිත රාජපක්ෂ අධිකරණයට දැන්වූවා.
අදාළ ව්‍යාපාරිකයා විසින් මෙම සැකකාර හිමිනමට එරෙහිව 2022 වසරේ එක් පැමිණිල්ලක් සහ 2023 වසරේදී පැමිණිලි 03 ක් එසේ ඉදිරිපත් කර ඇති බවද මෙම සිද්ධීන්වලට අදාළව සැකකාර හිමිනම රක්ෂිත බන්ධනාගාරගතව සිට මේ වන විට ඇප මත මුදා හැර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා එසේ වරෙන්තු නිකුත් කරන ලෙසට නියෝග කළා.
මීට වසර කිහිපයකට පෙර අවි ආයුධ ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව බන්ධනාගාරගතව සිටි එම හිමි නමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ජනාධිපති පොදු සමාව ලබා දී තිබුණා.















