රටවල් රැසකින් ලංකාවට ගලා එන විදේශ ආධාර

ආපදාවට පත් ජනතාව, ඔවුන්ගේ නිවාස, දේපළ සහ යටිතල පහසුකම් යළි ගොඩනැඟීම සඳහා ලොව පුරා රටවල් ඒ සඳහා සිය සහාය ප්‍රකාශ කර ඇති අතර, මෙරට මිත්‍ර රටවල් කිහිපයක් ඒ සඳහා සෘජුව මැදිහත්ව සිටිනවා.

ලෝක නායකන් සහ ජාත්‍යන්තර සංවිධාන රැසක් පසුගිය දින කිහිපය තුළ ජනාධිපතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින් සහ පණිවිඩ යොමු කරමින් මෙලෙස සිය ශෝකය සහ නැවත ගොඩනැගීම සඳහා සහාය පළ කර තිබෙනවා.

ඉන්දියානු අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි, මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය හෘදයාංගම ශෝකය පළ කර ඇති අතර , ඉන්දියාව මෙම දුෂ්කර කාලයේදී ශ්‍රී ලංකාව සහ එහි ජනතාව සමඟ අඛණ්ඩව රැඳෙන බවට සහතික වූ බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

සහන සැපයීමට මෙන්ම, මුදාගැනීමේ සහ පුනරුත්ථාපන කටයුතු සඳහා ‘සාගර් බන්ධු’ මෙහෙයුම යටතේ අඛණ්ඩ සහාය ලබා දීමටත්, ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේදී අවශ්‍ය සියලු සහයෝගය ලබා දීමටත් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වී ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

මේ වන විටත් ඉන්දීය නාවික යාත්‍රා සහ ගුවන් යානා කිහිපයක් මගින් හදිසි ආධාර ලබා දී ඇති අතර තවත් ආධාර සහ කණ්ඩාම් එවීමට නියමිතව බව පැවසෙනවා.

එමෙන්ම පකිස්ථානයද සිය සහාය පළ කරමින්, සිය නාවික හමුදාවේ PNS SAIF නෞකාව මගින් ශ්‍රී ලංකා නාවික හමුදාව හරහා ගංවතුරෙන් පීඩාවට පත් පවුල්වලට අත්‍යවශ්‍ය ද්‍රව්‍යාධාර සැපයු අතර මුදාගනීමේ නිලධාරීන් රැගත් ගුවන් යානයක් ඇතුළු තවත් ආධාර තොග ඉදිරි දිනවලදී මෙරටට එවීමට නියමිත බව එම නිවේදනයේ සඳහන්.

ඇමරිකා එක්සත් ජනපදය ගං ඉවුරු සවිමත් කිරීම සහ ඉහළ යන ජල මට්ටම් පාලනය සඳහා පොලිසැක් (Polysacks) 20,000ක් මෙරටට ප්‍රදානය කළ අතර, විදුලිජනක යන්ත්‍ර, උදුන්, ජල බඳුන් සහ කූඩාරම් ආදිය ලෝක ආහාර වැඩසටහන (WFP) මගින් ලබා දීමට නියමිතව තිබෙනවා.

අමතර සහන කණ්ඩායම් සහ ද්‍රව්‍ය රැගත් සී-130 ඇමෙරිකානු ගුවන් යානා දෙකක් ද ලබන 04 වනදා මෙරටට පැමිණීමට නියමිතයි.

ආපදා තත්වයට කඩිනම් ප්‍රතිචාර දැක්වීමට සහ යළි ගොඩනැඟීමට ඕස්ට්‍රේලියාව, ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1ක මුදලක් ආධාර වශයෙන් ලබා දීමට පොරොන්දු වී තිබෙනවා.
නේපාලය

නේපාලයද, සහන සැලසීමේ කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් 200,000ක දායකත්වයක් දක්වන බව නිවේදනය කර තිබුණා.

ජපානය, JICA ආයතනය හරහා කූඩාරම් සහ පොරෝනා ඇතුළු හදිසි සහන ද්‍රව්‍ය ලබා දී ඇති අතර වෛද්‍ය අවශ්‍යතා තක්සේරු කිරීම සහ ජපන් ආපදා සහන කණ්ඩායමක් (JDR) යෙදවීමේ හැකියාව සොයා බැලීම සඳහා සිව්දෙනෙකුගෙන් යුත් හදිසි වෛද්‍ය කණ්ඩායමක් 2025 නොවැම්බර් 30 වන දින දිවයිනට පැමිණියා.

එමෙන්ම Ketamine, Diazepam,Midazolam ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ද ජපානය විසින් පරිත්‍යාග කර තිබෙනවා.

තවද හදිසි සහන ද්‍රව්‍ය රැගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ගුවන් හමුදාවට අයත් C-17 Globemaster ගුවන් යානය අද (02) පස්වරුවේ දිවයිනට ළඟා වුණා.

එමිරේට්ස් සහන කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය හමූද් අල් අෆාරි (Dr. Hamood Al Afari) විසින් මෙම ආධාර නිල වශයෙන් භාර දෙනු ලැබුවා.

එක් පවුලකට දින 10ක් සඳහා ප්‍රමාණවත් වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් 1,116ක් සහ බෝතල් කළ ජලය, කූඩාරම්, පොරෝනා, මෙට්ට, පිසින උපකරණ සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු සහන මලු 336ක් මෙම ආධාර තොගයට ඇතුළත්

ඊයේ (01) දින එමීර් රාජ්‍යයෙන් පළමු ආධාර තොගය ලැබුණු අතර, මෙය ඔවුන් විසින් ලබා දුන් දෙවන මානුෂීය ආධාර තොගයයි.

දරුණු ලෙස බලපෑමට ලක් වූ ප්‍රදේශවල හදිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ශක්තිමත් කරමින්, බදුල්ල ප්‍රදේශයේ සහන මධ්‍යස්ථාන 25ක් සඳහා පානීය ජලය සැපයීමට UNICEF සංවිධානය සහාය ලබා දී තිබෙනවා.

ව්‍යසනයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ප්‍රජාවට සිය සහාය ප්‍රකාශ කළ මාලදිවයිනද ඇමරිකානු ඩොලර් 50,000ක ආධාර ලබා දීමට සහ අවතැන් වූවන් වෙනුවෙන් ටූනා මාළු ටින් පෙට්ටි 25,000ක් පරිත්‍යාග කිරීමටද පොරොන්දු වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

මීට අමතරව, මාලදිවයිනේ සිටින ශ්‍රී ලාංකිකයන් දැනට ක්‍රියාත්මක යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා ඇමරිකානු ඩොලර් 33,000ක දායකත්වයක් ලබා දී තිබෙනවා.

ජලය පිරිසිදු කිරීම, සනීපාරක්ෂාව සහ සෞඛ්‍යාරක්ෂිත කටයුතු සඳහා සහාය වීමට ස්විස්ටර්ලන්ත විශේෂ මුදා ගැනීමේ කණ්ඩායමක් දෙසැම්බර් 05 වන දින මෙරටට පැමිණීමට නියමිතයි.

චීනය, තුර්කිය, කියුබාව, බංග්ලාදේශය, යුරෝපා සංගමය, පලස්තීනය සහ නිකරගුවාව ඇතුළු තවත් රටවල් කිහිපයක් සහ ජාත්‍යන්තර හවුල්කරුවන් රැසක් මෙම ආපදා අවස්ථාවේදී සහ යළි ගොඩනැගීමේදී ශ්‍රී ලංකාව සමඟ රැඳෙන බවට ප්‍රතිඥා දෙමින් සිය සහයෝගය ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
0
+1
1
+1
0
+1
0
+1
4
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?