බැසිල්ට ඇගේ වම්පස හිරිවැටීමේ රෝගී තත්ත්වයක් – ලංකාවට එන්න ගුවන් ටිකට් වෙන්කර පසුව අවලංගු කරලා

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ (21) දින මෙරටට පැමිණීම සඳහා ගුවන් ටිකට් පත් වෙන්කර, පසුව ඒවා අවලංගු කර ඇති බව මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය වුණා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණයට පැවසුවේ, ශරීරයේ වම්පස හිරිවැටීමේ රෝගී තත්ත්වයක් පවතින බැවින් ගුවන්ගමන් නුසුදුසු බවට සැකකරු වෙනුවෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළත් ලේඛන අධ්‍යයනය කිරීමේදී සැකකාර බැසිල් රාජපක්ෂ හිතාමතා අධිකරණය මගහරින බවට බරපතළ සැකයක් පවතින බවයි.

නීති විරෝධි ක්‍රියාකාරකමකින් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 500ක් යොදවා මාතර බ්‍රවුන්ස් හීල්හි අක්කර එකහාමාරයක ඉඩමක් මිලදී ගැනීමේ සිදුවීමකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ඊයේ (21) පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා ඉදිරියේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වුණා.

එහිදී නඩුවේ පළමු හා දෙවන සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියද, තෙවන හා සිව්වන සැකකරුවන් වන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳගේ සහෝදරිය අයෝමා ගලප්පත්ති අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

ඒ, අනුව සැකකාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා සිය සේවාදායකයාගේ වෛද්‍ය වාර්තා ඇතුළත් ලේඛන ගොනුවක් අධිකරණයට ඉදිරිපත් කළා.

එම වෛද්‍ය වාර්තා අධ්‍යනය කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙසේ විවෘත අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

“ස්වාමිනි මේ නඩුවේ තෙවන සැකකරු වන බැසිල් රෝහණ රාජපක්ෂ අවසන් වරට අධිකරණයේ පෙනී සිට තිබෙන්නේ 2024 සැප්තැම්බර් 18. ඒ කියන්නේ මොහු වසරකට වැඩි කාලයක් අධිකරණයේ පෙනී සිට නැහැ.
ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පසුගිය නඩුවාරයේ අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවක දැක්වුණා සිය සේවාදායකයා පුටුවකින් වැටිලා ඇතිවුන බෙල්ලේ අමාරුවක් නිසා වෛද්‍යවරුන් විසින් ගුවන් ගමන් නොසුදුසු බවට නිර්දේශ කර තිබුණා කියලා. නමුත් X Ray වාර්තාවල කිසිදු අස්ථි භග්නයක් පෙන්නුම් කෙරුණේ නැහැ.
එදින සැකකරුගේ ඇපකරුවන්ට නියෝග කළා අද (21) දින සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. නමුත් සැකකාර බැසිල් රාජපක්ෂ අදත් නැහැ. ඔහුගේ නීතිඥයින් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේ දැක්වෙනවා සැකකාර බැසිල් රාජපක්ෂට ” Left Side Sciatica ” හෙවත් ශරීරයේ වම්පස හිරිවැටීමේ රෝගී තත්ත්වයක් පවතින බැවින් ගුවන් ගමන් නුසුදුසු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා කියලා.
නමුත් ස්වාමිනි මේ ලේඛන මා අධ්‍යනය කරපුවාම බරපතළ සැකයක් ඇතිවුණා සැකකරු ඇත්තටම අසනීපයෙන් ඉන්නවාද, නැතිනම් අධිකරණය මඟහරිනවා ද කියලා”.

ඒ, අනුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සැකකාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කළ ලේඛන ගොනුවේ පරස්පරතා කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කළේය.

“ස්වාමිනි, මේ වෛද්‍ය වාර්තා නිකුත් කරලා තියෙන්නේ ජොර්ජ් චිඩී’ කියලා පුද්ගලයෙක්. මේ ලේඛනවල රෝග ලක්ෂණ සටහන් කරලා තිබුණාට, ඒවා වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කරලා නැහැ. අනික පෙර නඩුවාරයේ වෛද්‍යවරයාගේ වාර්තාවල ලිපි ශීර්ෂය නෙමෙයි, අද ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවල තියෙන්නේ.
ඊළඟට බැසිල් රාජපක්ෂට ඔය කියන ” Left Side Sciatica” එහෙමත් නැතිනම් ශරීරයේ වම්පස හිරිවැටීමේ රෝගි තත්ත්වය තියෙන නිසා මාස 06ක් ගුවන් ගමන් නුසුදුසු බවට වෛද්‍ය නිර්දේශය නිකුත් කරලා තියෙන්නේ 2025 සැප්තැම්බර් 14 වැනිදා.
වෛද්‍යවරයා එහෙම නිර්දේශ කර තිබියදී ඊට පසු සැප්තැම්බර් 25 වැනිදා, මේ සැකකරු නොවැම්බර් මාසයේ 18 සිට 21 දක්වා කාලය තුළ ගුවන් ගමනකින් මෙරටට පැමිණෙන්න ගුවන් සමාගමකින් ගුවන් ටිකට්පත් වෙන් කරගෙන තියෙනවා. පසු අවස්ථාවක ඔක්තෝබර් මාසයේ යළි එය අවලංගු කරන්නැයි ඉල්ලා තිබෙනවා.
ඒ වගේම ස්වාමිනී මේ සැකකරුට ගුවන් ගමනක යෙදීමේ ශක්‍යතාවය තිබෙනවාදැයි පරීක්ෂා කිරීමට ගුවන් සමාගම ඉදිරිපත් කළ පෝරමයේ පැහැදිලිව දැක්වෙනවා මොහුට තවත් පුද්ගලයෙකුගේ සහයෙන් සාමාන්‍ය පරිදි ගුවන් ගමනක යෙදිය හැකියි, ගුවන් යානය තුළ විශේෂ පුටුවක්, ඇදක් හෝ ඔක්සිජන් සැපයීමක් අවශ්‍ය නැහැ කියලා”.

සිය කරුණු දැක්වීම් අවසන් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකාර බැසිල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තාවන් පිළිගත නොහැකි බැවින් ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

එහිදී මාතර මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා සැකකාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටී නීතිඥවරුන්ට සිය සේවාදායකයා සම්බන්ධයෙන් සවිස්තරාත්මක වෛද්‍ය වාර්තාවක් ඉදිරි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.

එසේ ඉදිරිපත් කිරීමක් නොකරන්නේනම් සැකකරු සම්බන්ධයෙන් අධිකරණයේ තබා ඇති ඇප මුදල් රාජසන්තක නොකිරීමට හේතු දක්වන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා නීතිඥවරුන්ට නියෝග කර සිටියා.

එමෙන්ම සැකකාර බැසිල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා ඇපකරුවන්ට අවවාද කළා.

නීති කෘත්‍යය යළි ලබන වසරේ මැයි 22 වනදා කැඳවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08