ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හා ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සත්කාරකත්වයෙන් හා රටවල් රැසක සහභාගිත්වයෙන් පුරා දින 05ක් පැවති “Pacific Angel 2025” පුහුණු අභ්‍යාසය ඊයේ (12) දින කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී සාර්ථකව අවසන් වුණා.
ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග්, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මෙම පුහුණු අභ්‍යාසයේ සමාප්ති උත්සවය සඳහා සහභගීව සිටියා.
සැප්තැම්බර් 08 වන දින ආරම්භ වූ මෙම බහුජාතික පුහුණු අභ්‍යාසය සඳහා එක්සත් ජනපද පැසිෆික් හමුදා, රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාව, ජපාන ගුවන් ස්වයං ආරක්ෂක බලකාය, ඉන්දියානු ගුවන් හමුදාව, මාලදිවයින් ජාතික ආරක්ෂක බළකාය සහ බංගලාදේශ ගුවන් හමුදාව සහභාගී වූ අතර, සත්කාරක ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාවද එක්වුණා.
මෙම පුහුණු අභ්‍යාසය සඳහා විදේශීය හමුදා නියෝජිතයින් 123 දෙනෙකු ඇතුළත්ව දෙස් විදෙස් හමුදා නියෝජිතයින් 300 ක පිරිසක් සම්බන්ධ වූ අතර, එම පුහුණු අභ්‍යාසයේදි සෙවීම් සහ ගලවාගැනීම් මෙහෙයුම් සහ මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් වෙත විශේෂ අවධානයක් යොමු කෙරුණා.
තවදුරටත්, මෙම වැඩසටහනේ දී ගුවන් යානා නඩත්තු කිරීම, ගුවන් කාර්ය මණ්ඩල මෙහෙයුම්, ගුවනින් ලෙඩුන් රැගෙන යාම, අනතුරු වෛද්‍ය ප්‍රතිචාර, වනාන්තර ජීවිතාරක්ෂණ මෙහෙයුම් සහ ගුවන් ප්‍රවාහන භාණ්ඩ කළමනාකරණය වැනි විශේෂ වූ ක්ෂේත්රයන් හී විශේෂඥ දැණුම හුවමාරුව සිදුවුණා.
පුහුණු අභ්‍යාසය මූලිකවම කටුනායක ගුවන් හමුදා කඳවුරේ දී සිදුකළ අතර, අභ්‍යාසයේ නිරත වූවන් සඳහා විවිධ පාරිසරික තත්වයන් යටතේ පුහුණු සැසි අවස්ථාවන් නිර්මාණය කරමින් චීන වරාය ගුවන් හමුදා ඇකඩමියේ දී සහ අම්පාර ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානයේ දී පුහුණු සැසි කිහිපයක් පැවත් වුණා.
මෙම අභ්‍යාසය සඳහා එක්සත් ජනපද ගුවන් හමුදාවේ C-130J ගුවන් යානා දෙකක්, බෙල් 412 බෙල් 212 ගුවන් යානා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ King Air 350 ගුවන් යානයක් ඇතුළුව විවිධ ගුවන් පහසුකම් ලබා දෙනු ලැබුවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව ද, සිය යාත්‍රාවල දායකත්වය ලබා දෙමින් සමුද්‍රීය අභ්‍යාසයන් සඳහා සිය ශක්තිය ලබා දුන්නා.
මෙම මුලපිරීම තුළින් ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර කල් පවත්නා හවුල්කාරීත්වය නැවත වරක් පෙන්නුම් කර ඇති අතර, අන්තර් ජාතික වශයෙන් ආරක්ෂක අභියෝග වඩ වඩාත් සංකීර්ණ වන ලෝකයක මෙවැනි අභ්‍යාස හමුදා අතර සහයෝගීතාවය සඳහා ඇති ඉල්ලුම මතක් කර දෙනවා.
සාමූහික සූදානම තේරීමක් නොව අවශ්‍යතාවයක් බවද, මෙයින් අපට පෙන්වා දෙයි යන්න උත්සවය අමතමින් ආරක්ෂක ලේකම්වරයා මෙහිදී පැවසුවා.
ඉන්දියානු සාගර කලාපයේ උපායමාර්ගික වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ, ගෝලීය ආරක්ෂාව සහ ආර්ථික යන ක්ශේත්‍රවල දී ඉන්දියානු සාගර කලාපය ඉතාමත් වැදගත් වන බවයි.
තවද, ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානව පිහිටි නිසාවෙන් ස්ථාවරත්වය, ආරක්ෂාව සහ ඔරොත්තු දීමේ හැකියාව සහතික කිරීම අපගේ වගකීමක් වන බවයි ඔහු සඳහන් කළේ.
ආරක්ෂක ලේකම්වරයා “Pacific Angel අභ්‍යාසයේ විශේෂ වැදගත්කම අවධාරණය කරමින් එය විශේෂඥ දැනුම සහ සම්පත් එක්තැන් කළ අවස්ථාවක් වන බවත්, එය සහභාගී වන සියලූම පාර්ශවකරුවන් ජාතීන් අතර හොඳ හිත ශක්තිමත් කර ඇති බවද, පැවසුවා.
තවදුරටත්, මෙම අභ්‍යාසය අර්බුදකාරී අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීමේදී අප සතු ධාරිතාව සහ හැකියාව වැඩි දියුණු කර ඇති අතර, හවුල්කරුවන් සමඟ විශ්වාසය ශක්තිමත් කර ඇති අතර, කලාපීය සාමය සහ ස්ථාවරත්වය සඳහා අපගේ හවුල් කැපවීම නැවත තහවුරු කර ඇති බවට ද සඳහන් කළා.
මෙම මුලපිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයා එක්සත් ජනපද රජයට කෘතඥතාව පළකළ අතර, එක්සත් ජනපද තානාපතිනියගේ සහ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සහායද අගය කළා.
තවද, පුහුණු අභ්‍යාසයේ සාර්ථකත්වය සඳහා වටිනා දායකත්වයක් ලබාදුන් ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, ජපානය සහ මාලදිවයින ඇතුළු දෙස් විදෙස් සියලු දෙනාටම ආරක්ෂක ලේකම්වරයා සිය ස්තූතිය පුද කර සිටියා.













