බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේ දී අද (24) අලුයම සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරුවන් පැමිණි ත්‍රිරෝද රථය සොයාගෙන තිබෙනවා.
පිළියන්දල, බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය අසල දමා ගොස් තිබියදී මෙම ත්‍රිරෝද රථය සොයාගැනුනේ ලද තොරතුරක් මත බවයි බොරලැස්ගමුව පොලිසිය පැවසුවේ.
අද (24) දහවල් සොයාගත් රතු පැහැති මෙම ත්‍රිරෝද රථයේ ඇති ඇඟිලි සලකුණු පරීක්ෂා කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර ත්‍රිරෝද රථය තුළ තිබී ආරක්ෂක හිස් වැසුම් දෙකක් සහ කළු පාටට හුරු ජැකට්ටුවක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
පොලිසිය සැකපළ කරන්නේ අදාළ ත්‍රිරෝද රථය කිසියම් ප්‍රදේශයකින් සොරාගත් එකක් බවයි.
මෙම වෙඩි තැබීමෙන් ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි ගිහාන් දුලාන් පෙරේරා නම් 21 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් අයෙක් තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
බොරලැස්ගමුව ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයක් නරඹා පුද්ගලයින් 09 දෙනෙකු යමින් සිටිය දී ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.





