ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය හරහා ‘දූෂණය’ නමැති පිළිකාව සමාජයෙන් තුරන් කළ හැකි බව අගවිනිසුරු ජනාධිපති නීතිඥ මුර්දු ප්‍රනාන්දු මහත්මිය පවසනවා.
අගවිනිසුරුවරිය මේ බව සඳහන් කළේ, ශ්‍රේෂ්ඨාධිකරණය ‘GovPay’ ඩිජිටල් ගෙවීම් වේදිකාව සමඟ සම්බන්ධ කිරීම වෙනුවෙන් අද (15) පැවැති උත්සවයකදීයි.
ජාතික ජන බලවේග රජය යටතේ, රාජ්‍ය සේවා ඩිජිටල්කරණය කිරීම සඳහා ‘GovPay’ පහසුකම පසුගියදා දියත් කෙරුණා.
ඒ, ප්‍රධාන රාජ්‍ය ආයතනය 16ක මහජන සේවා ලබාගැනීමේ දී අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් සිදු කිරීම අරඹමින්.
එම සේවාව www.govpay.lk වෙබ් අඩවිය ඔස්සේ ලබාගැනීමට මහජනතාවට අවස්ථාව හිමි ව තිබෙනවා.
ඒ අනුව එහි තවත් අදියරක් ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ දී අද සිදු කෙරුණේ අගවිනිසුරු ජනාධිපති නීතිඥ මුර්දු ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන්.
නීති වෘත්තිකයන්, ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය හෙවත් ICTA ආයතනයේ සහ ලංකා පේ සමාගමේ නිලධාරින් පිරිසක් ද ඒ සඳහා සහභාගි වී සිටියා.
ඒ අනුව මෙතෙක් මුදල් මගින් ගෙවීම් සිදුකළ ශ්‍රේෂ්ඨාධිකරණ සේවා රැසකට මාර්ගගත ක්‍රමය ඔස්සේ මුදල් ගෙවීමට මෙමඟින් අවස්ථාව උදා වනවා.
නඩු ගොනු සඳහා ගාස්තු, සහතික කළ පිටපත් ගාස්තු, වාණිජ මහාධිකරණ අභියාචනා ගොනුකිරීමේ ගාස්තු, වන්දි, පැමිණිලි ගොනුකිරීමේ ගාස්තු සහ දිවුරුම් ප්‍රකාශ සඳහා සිදුකරන ගෙවීම් ඇතුළු ගෙවීම් කටයුතු රැසක් මෙමගින් මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට අවස්ථාව උදාවනු ඇති.





