මීතොටමුල්ල ඩිපෝ අධිකාරිවරයාට පහර දුන් බව කියන සැකකරුවන් තිදෙනෙකු මෙම මස 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළා.
එම ඩිපෝවේ කළමනාකරුවෙකු වන චමින්ද කන්නන්ගර මහතා සිද්ධිය සම්බන්ධයෙන් මීතොටමුල්ල පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණු බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.
බී.ජී චන්ද්‍රසිරි, ඩිලාන් අමරසිංහ, ඒ.එල් දිනේෂගර් යන සැකකරුවන් තිදෙනකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
පැමිණිලිකාර ඩිපෝ කළමනාකරු ඇතුළු එහි සේවකයන් පිරිසක් සිය දෛනික රාජකාරී කටයුතු නිමවීමෙන් පසුව ඉකුත් 28 දින පස්වරු 4.00 ට පමණ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකින් නිවෙස් බලා යාමට සූදානම්ව බස් රථයට නැග ඇති බව ද පොලිසිය අධිකරණයට දැන්වූවා.
අදාළ බස් රථය එම ඩිපෝ භූමියෙන් පිටතට ගැනීමත් සමග බස් රථයේ මඟ අවුරා ඇති සැකකරුවන් තිදෙනා එම රථය තුළට නැග එහි සිටි කළමනාකාරවරයාට අමානුෂික ලෙස පහර දී ඇති බවත් සිද්ධියෙන් තුවාල ලත් කළමනාකාරවරයා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව ද පොලිසිය අධිකරණය හමුවේ පැවසුවා.
ආයතනය අභ්‍යන්තරයේ ඇති වූ කිසියම් සිද්ධියකට පළිගැනීමක් වශයෙන් මෙම පහරදීම සිදුකර ඇති බවට විමර්ශනවල දී කරුණු අනාවරණය වූ බව ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වාම පොලිසිය අධිකරණයට දැනුම්දුන්නා.