පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට (26) දිවයින පුරා පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඉදිරි දින තුන තුළ නොපැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව නොවැම්බර් මස 27, 28, 29 යන දිනවල විභාගය නො පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ.
එලෙස කල් දැමූ දින තුනට අදාළ ප්‍රශ්න පත්‍ර දෙසැම්බර් 21, 22 සහ 23 යන දිනයන්වල දී පැවැත්වෙන බවයි ඔහු සඳහන් කළේ.
කෙසේ වෙතත් ලබන 30 වන සෙනසුරාදා සුපුරුදු පරිදි විභාගය පැවැත්වෙන බව ද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.
දිවයින පුරා මේ වනවිට දිස්ත්‍රික්ක කිහිපයකට ම ආපදා තත්ත්වයන් පිළිබඳ ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති පසුබිමක ඊයේ (25) දිනයේ පෙරවරු 8.30 සිට ඇරඹුණු මෙම වසරට නියමිත උසස් පෙළ විභාගය සැලසුම් සකස් කළ පරිදි පැවැත්වීමට කටයුතු කෙරුණ ද, ඇතැම් ප්‍රදේශවලට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් විභාග අපේක්ෂකයින්ව ආරක්ෂක අංශවල මැදිහත් වීමෙන් විභාග මධ්‍යස්ථාන කරා ආරක්ෂිතව ඇතුල් කරවීමට පියවර ගැනුණා.
එහිදී විභාග කොමසාරිස්වරයා දන්වා සිටියේ තමන්ට නියමිත විභාග මධ්‍යස්ථානයට අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් යාමට නොහැකි නම්; ළඟම ඇති විභාග මධ්‍යස්ථානයකට යාමට කටයුතු කරන ලෙසයි.
කෙසේවෙතත් වර්ෂාපතනය දැඩි වීම මත කොළඹ ඇතුළු බොහෝ ප්‍රදේශවලට ගංවතුර තත්ත්ව ඇති වී තිබෙන පසුබිමක සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ද නායයෑමේ පූර්ව අවදානම් නිවේදන නිකුත් කර ඇති පසුබිමකදියි විභාග දෙපාර්තමේන්තුව විසින් මෙම හදිසි තීරණය විභාගය දින 03කින් කල් දැමීම සම්බන්ධයෙන් ගනු ලැබුවේ.