අන්තර්ජාල බැංකු ගනුදෙනුවල දී වංචනිකයින්ට නො හසුවන්න – පොලිසිය(වීඩියෝ)

අන්තර්ජාල බැංකු ගනුදෙනුවල දී කිසිදු ලෙසකින් නාඳුනන පාර්ශ්වයක් වෙත සිය OTP අංක ලබා නොදෙන ලෙසට පොලිසිය මහජනතාවට දැනුම්දෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (30) පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ; බොහෝ පිරිස් කූඨ බැංකු වංචාකාරයින්ට හසුවීමේ සිදුවීම් මේ දිනවල වාර්තා වී ඇති බවයි.

අන්තර්ජාලය ඔස්සේ තමන්ගේ දූරකථන වෙත ලැබෙන නොදන්නා පණිවිඩ, කේත අංක හෝ දිගු (ලින්ක්) වෙත පිවිසි, තමන්ගේ පෞද්ගලික බැංකු ගිණුම්වල දත්ත ලබා නොදෙන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටින්නේ.

එවිට එම වංචනිකයින් විසින් පුද්ගලයින්ගේ බැංකු ගිණුම් වෙත පිවිස එහි ඇති ශේෂ මුදල කොල්ලකෑමේ සිදුවීම් සිදු ව ඇති බවත්, බොහෝ කේත අංක, දිගු (ලින්ක්) ප්‍රසිද්ධ පෙළේ මූල්‍යායතනය නමින් පැමිණෙන බවත් ඒ සියල්ලම නිසි දැනුවත් වීමකින් තොරව ඊට පිවිසීම් සිදු නොකරන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් දැනුම්දෙනවා.