නිධානයකින් ගත් රන් දේව පිළිමයක් මන්නාරමදී අල්ලයි

මන්නාරම ප්‍රධාන පාලම ආසන්නයේදී යොදවා ඇති පොලිස් සහ යුදහමුදා මාර්ග බාධකයේදී ඊයේ (07) සවස සිදුකල සෝදිසියකදී රන් දේව පිළිමයක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට මන්නාරම් පොලීසිය පවසනවා.

මන්නාරම සිට නුවර දක්වා ධාවනය වන බස්රථයක නිධානයකින් ගත් රන් දේව පිළිමයක් රැගෙන යන බවට මන්නාරම් පොලීසියට ලැබුනු තොරතුරකට අනුව මාර්ග සෝදිසි බාධකයේ සේවයේ නිරත නිලධාරීන්ට ඒ පිළිබඳව දැනුම් දී අදාළ බස්රථයේ සිදුකරන ලද සෝදිසියකදී මෙම රන් පිළිමය හමු වී තිබෙනවා.

එහිදී බෑගයක ඔතා බස්රථයේ මගී බෑග් රඳවනයේ සඟවා තිබියදී අදාල රන් පිළිමය සොයාගත් අතර රන් පිළිමය රැගෙන ගිය බවට සැකකෙරෙන කාන්තාවන් දෙදෙනෙකු සහ තවත් එක් පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

එහිදී සැකකරුවන් විසින් අදාළ රන් පිළිමය නිධානයකින් ගෙන වෙනත් ප්‍රදේශයකට විකිණීම සඳහා රැගෙන යමින් සිටියදී මෙලස අත්අඩංගුවට පත්වුනේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ඔවුන් මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන මන්නාරම පොලීසිය වැඩිදුරටත් පැවසුවා.