AFC Banner
Empty Ad
Empty Ad

පාස්කු වාර්තාවේ නිර්දේශ මෙන්න

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දණ්ඩනීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව පාස්කු ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙනවා. අවසන් වාර්තාව ජනාධිපතිවරයා ඊයේ (22) පස්වරුවේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ අතර, එය අද ජනාධිපති ලේකම් කාර්යාලය මගින් කථානායකවරයා වෙත භාරකෙරුණා.

පාස්කු කොමිසමේ අවසන් වාර්තාවෙන් නිර්දේශ ගණනාවක් සහ නිගමන 10ක් ඉදිරිපත් කර තිබෙනවා.

නිගමන

2019 අප්‍රේල් 21 සිදුවූ ත්‍රස්ත ප්‍රහාර වැළැක්වීමට අපොහොසත් වීම සහ තම රාජකාරී ඉටු කිරීමට අපොහොසත් වීම මෙන්ම නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් හඳුනාගත් නිලධාරීන් සහ බලධාරීන් වගකිව යුතු බවට කොමිසම නිගමනය කර තිබෙනවා.

රිෂාඩ් බදියුදීන් සම්බන්ධ තඹ කර්මාන්ත ශාලාවට අදාළ කරුණු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවට යොමුකළ යුතු කාරණයක් ලෙස කොමිසම නිගමනය කර තිබෙනවා.

වැරදි සිදුකළ බවට චෝදනා ලැබ සිටින පුද්ගලයින්ට එරෙහිව අපරාධ නඩු පැවරීම පිළිබඳව සලකා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් සම්පූර්ණ වාර්තාව නීතිපතිවරයා වෙත භාරදීම මැනවි යැයි කොමිසම නිගමනය කර තිබෙනවා.

නිර්දේශ

1. වන්දි ලබාදීම

රජය විසින් පාස්කු ප්‍රහාරයෙන් මියගිය එක් අයෙකු සඳහා රුපියල් මිලියන 2ක් සහ තුවාල ලැබූ සියලුදෙනාගේ සැබෑ වියදම් සලකා රුපියල් ලක්ෂ 5ක වන්දි ප්‍රදානය කළ යුතුයි.

2. රාජසන්තක කිරීම

මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ව්‍යාපාර දේපළ ඇතුළු සියලු දේපළ රාජසන්තක කිරීමට නීති සම්පාදනය කළ යුතුයි.

3. ත්‍රස්ත මර්දන පනත

ත්‍රස්තවාදයට එරෙහිව නව නීතියක් පැනවිය යුතු බවත්, ඒ සඳහා යෝජනාත් වාර්තාවෙන් ඉදිරිපත් කර තිබෙනවා.

4. අපරාධ පරීක්ෂණ

දැනට පවත්නා අපරාධ පරීක්ෂණවලට ඕනෑම දේශපාලනඥයෙකු කිසිදු පොලිස් නිලධාරියෙකු සම්බන්ධ කර ගැනීම වැළැක්වීම සඳහා නීතිමය විධිවිධාන විශේෂයෙන් ක්‍රියාත්මක කළ යුතුයි.

දෙහිවල සහ මාවනැල්ල සිද්ධි සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයන්ට රිෂාඩ් බදියුදීන් සහ අසාද් සාලි යන අයවළුන් විසින් සිදුකරන ලද මැදිහත්වීම් පිළිබඳ ඉදිරිපත් වූ සාක්ෂි මත මෙම නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

5. අපරාධ නඩු විභාගය

පාස්කු ඉරිදා ප්‍රහාර මෙන්ම ත්‍රස්තවාදී නඩු සම්බන්ධ සියලු අපරාධ නඩු විභාග කිරීමට හා අවසන් කිරීමට මහාධිකරණ පිහිටවිය යුතු අතර, ඒවායේ දිනපතා නඩු විභාග කළ යුතුයි.

අබ්දුල් රාසික්ට එරෙහිව අපරාධ චෝදනා ගොනුකළ හැකිද යන්න කඩිනමින් සලකා බැලීමටද නීතිපතිවරයාට නිර්දේශ කර තිබෙනවා.

2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ප්‍රකාරව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අපරාධ නඩු පැවරිය හැකිද යන්න සොයාබලන ලෙසත්, නීතිපතිවරයාට සිදුකළ නිර්දේශ අතර සඳහන්.

6. තහනම් පැනවීම

බොදුබල සේනා සංවිධානය තහනම් කළ යුතු මෙන්ම, ශ්‍රී ලංකා ජමාතේ – ඊ – ඉස්ලාම් සංවිධානය සහ ජමාඅත් – ඊ – ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරයද තහනම් කළ යුතු යැයි කොමිසම නිර්දේශ කර තිබෙනවා.

අයි.එස්. ඇතුළු අන්තවාදී ආගමික කණ්ඩායම් තහනම් කිරීම සඳහා නීති හෝ රෙගුලාසි නිර්මාණය කළ යුතු බවද නිර්දේශවල සඳහන්.

7. දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම

ආගමික හේතු හා විශ්වාසය පදනම්ව දේශපාලන පක්ෂ ලියාපදිංචිය තහනම් කළ යුතු සේම කිසිම ආගමක නමක් කිසිදු දේශපාලන පක්ෂයක නමේ කොටසක් නොවිය යුතු බවට ද නිර්දේශ කර තිබෙනවා.

එලෙස දැනට ලියාපදිංචි කර ඇති දේශපාලන පක්ෂවලට අදාළ වෙනස්කම් සිදුකිරීම සඳහා සහන කාලයක් ලබාදීමට නිර්දේශිතයි.

8. සයිබර් අවකාශය

අයි.එස්. , වහබ්වාදය සහ තවුහීද් වැනි අන්තවාදී ආගමික මතවාද මෙරටට ප්‍රවේශ විය නොහැකි බව සහතික කිරීම සඳහා සමාජ මාධ්‍ය ඇතුළු සයිබර් අවකාශය නියාමනය කළ යුතු බවට ද නිර්දේශ කර තිබෙනවා.

9. ආරක්ෂාව

ආරක්ෂක අමාත්‍යාංශය සෑම විටම ජනාධිපතිවරයා යටතේ පැවතිය යුතුයැයි ද නිර්දේශ කර තිබෙනවා.

ජනාධිපතිවරයා විදෙස්ගත වන්නේ නම් වැඩබලන ආරක්ෂක ඇමතිවරයෙකු පත් කිරීම අනිවාර්ය කිරීම සඳහා ව්‍යවස්ථාමය විධිවිධාන පැනවීමට ද
නිර්දේශිතයි.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සතු සියලු බලය වැඩඩලන අමාත්‍යවරයාට තිබිය යුතු අතර, ජාතික ආරක්ෂක මණ්ඩලය කැඳවා උපදෙස් දීමටද ඔහුට බලය තිබිය යුතු බවට ද නිර්දේශ කර තිබෙනවා.

තවත් නිර්දේශයක් වන්නේ ජනාධිපතිවරයා විදේශගතව සිටින විට අග්‍රාමාත්‍යවරයා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා නොවන අවස්ථාවකදී සියලු ජාතික ආරක්ෂක තොරතුරු අග්‍රාමාත්‍යවරයාට දැනුම්දීම අනිවාර්ය බවයි.

10. ජාතික ප්‍රතිපත්ති

පාස්කු ප්‍රහාරය සඳහා මූලික හේතුවක් වන්නේ ජාතික ආරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් හා ප්‍රමුඛතාවක් නොමැතිකම බවත්, ඒ සඳහා ජාතික ආරක්ෂාව සහ ආරක්ෂක ප්‍රතිපත්තිය කෙටුම්පත් කර සම්මත කර ගැනීමට ද යෝජනා කර තිබෙනවා.

11. ජාතික ආරක්ෂාව

“එක් රටක් එක නීතියක්“ යන සංකල්පය පිළිගෙන ක්‍රියාත්මක කළ යුතු බවත්, එමගින් විවිධ ප්‍රජාවන් අතර සුවිශේෂිත්වයක් ඇතිවීම වැළැක්වෙන බවත් මෙමගින් පෙන්වා දෙනවා.

මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය පැනවීමකින් තොරව ශ්‍රී ලංකාවේ හමුදාවේ සහය ලබාගැනීමට පොලිසියට හැකිවන පරිදි නීතිමය තන්ත්‍රයක්ද ඇති කළ යුතු බවට වාර්තාවකින් නිර්දේශ කර තිබෙනවා.

ඕනෑම පොදු ස්ථානයකදී මුහුණු ආවරණය වන සේ නිර්මාණය කර ඇති ඇඳුම් පැලඳීම තහනම් කිරීමට ද යෝජිතයි.

12. පොලිස් දෙපාර්තමේන්තුව

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ධුරයේ කටයුතු කළ ආකාරය පිළිබඳ බරපතළ ගැටලු තිබූ බවට කොමිසම නිරීක්ෂණය කර තිබෙනවා.

රහස් පොලිසිය හා ත්‍රස්ත විමර්ශන අංශය එක් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතට පත්කළ යුතු බවද නිර්දේශ අතරට අයත්.

පොලිස් දෙපාර්තමේන්තුවේ සංස්කෘතිය වෙනස් කළ යුතු අතර, උසස්වීම් සඳහා නිලධාරීන් අතර ඇති තරගය අවම කිරීමට ගතයුතු පියවර ඇතුළු පොලිසිය සම්බන්ධයෙන් විශේෂ නිර්දේශ 22ක් වාර්කාවේ සඳහන්.

13. ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්

ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් එක් තනතුරකට වඩා නොහෙබවිය යුතු බව පෙන්වා දෙන කොමිසම සඳහන් කර ඇත්තේ හේමසිරි ප්‍රනාන්දු මහතා තනතුරු කිහිපයක් දැරූ බැවින් ආරක්ෂක අමාත්‍යාංශයේ සිය රාජකාරී සඳහා ගත කළ කාලය අඩු බවට සාක්ෂි ලැබී ඇති බවයි.

14. රාජ්‍ය බුද්ධි සේවය

දේශපාලන මැදිහත්වීම්වලට බියෙන් තොරව රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්ට සිය රාජකාරී ඉටුකිරීමට හැකි පරිදි නීති රාමුව ශක්තිමත් කළ යුතුයි.

15. ජාතික බුද්ධි අංශය

ජාතික බුද්ධි ඒජන්සියක් පිහිටුවීම සඳහා නීති සම්පාදනය කිරීමේ උත්තරීතර ආයතනය විය යුත්තේ ජනපතිගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ආරක්ෂක මණ්ඩලය බව කොමිසම නිර්දේශ කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලයක් තිබිය යුතු අතර, සියලු බුද්ධි අංශවල දත්ත පදනම් වෙත ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලයට ප්‍රවේශ වීමට හැකිවිය යුතුයි.

බුද්ධි අංශ නිලධාරීන් හා විමර්ශකයින් අතර රාජකාරී මට්ටමේ තොරතුරු හුවමාරුවක් සිදු නොවීම සහරාන්ගේ කණ්ඩායමට සිය ත්‍රස්ත ක්‍රියා සිදුකිරීමට පිටුබලයක් වී ඇති බව කොමිසම නිරීක්ෂණය කර තිබෙනවා.

16. මැතිවරණ ක්‍රමය

ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ස්ථාවර රජයක් අත්‍යවශ්‍ය වන බවත්, දුර්වල රජයක් පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් එල්ලවිය හැකි බව සහරාන්ගේ කණ්ඩායම සිතූ බවට කොමිසමට සාක්ෂි ඉදිරිපත්ව ඇති බවද අවසන් වාර්තාවේ සඳහන්.

17. ආගමික කටයුතු අමාත්‍යාංශය

සියලුම ආගමික කටයුතු සඳහා පැවතිය යුත්තේ එක් අමාත්‍යාංශයක් පමණක් බවත්, එම අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේ පැවතීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නීති සම්පාදනය විය යුතු බවටද නිර්දේශ කර තිබෙනවා.

18. අධ්‍යාපනය

සෑම පාසලකම සිසුන්ට ඔවුන්ගේ ආගම නොසලකා “ ආගමික අධ්‍යාපනය“ යන නව විෂය ඉගැන්විය යුතු බවත්, ඊට බුද්ධාගම, ක්‍රිස්තියානි ධර්මය, හින්දු හා ඉස්ලාම් ධර්මයේ මූලික කරුණු 1 සිට 10 ශ්‍රේණි දක්වා ඉගැන්වීම අනිවාර්ය කළ යුතු බව ද නිර්දේශිතයි.

19. ඉස්ලාමීය ආගමික පෙළ හා මද්‍රසා අධ්‍යාපනය

සියලුම මද්‍රසා සුදුසු නෛතික රාමුවක් මගින් පාලනය කළ යුතු අතර, ව්‍යවස්ථාපිත අධිකාරියක් විසින් සමීපව නියාමනය කළ යුතු බවද නිර්දේශ අතර සඳහන්.

20. විදේශ අරමුදල්

සියලුම ආගමික සංවිධානවලය විදේශ අරමුදල් ගලා ඒම නියාමනය කළ යුතු බවද එහි දැක්වෙනවා.

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන පිරිසට නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රතිපාදන තිබේදැයි සොයා බැලීම සඳහා නීතිපතිවරයාට යොමුකරන්නැයි ද අවසන්
වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2019 අප්‍රේල් 16 සිට 21 දක්වා ඉන්දියාවට සහ සිංගප්පූරුවට යන අවස්ථාවේදී ආරක්ෂක අමාත්‍ය ධුරය සඳහා කිසිදු වැඩබලන පත්වීමක් ලබානොදීම හා ප්‍රහාරය පිළිබඳව දැනුවත්භාවයක් සහිතවම එය සිදුකිරීම තුළින් චේතනාන්විතවම සහරාන්ගේ IS තර්ජනයට මඟපෑදූ බවත්, එයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත් පැහැදිලි වන බව අවසන් වාර්තාවේ සඳහන්.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වැඩබලන පත්වීමක් සිදුකිරීම ජනාධිපතිවරයාට අභිමතයක් පැවති බව සැකයක් නැති බවත්, එහෙත් අවස්ථාපිත තත්ත්වයන් අනුව ඔහුට එසේ කිරීමේ වගකීමක් පැවතුණු බවයි.

සාක්ෂි මත පදනම්ව ඉහත විස්තර කර ඇති ක්‍රියාවන් හෝ අතපසු කිරීම සම්බන්ධයෙන් ඔහුගේ පාර්ශ්වයේ සාපරාධී වගකීමක් ඇති බව පරීක්ෂණ කොමිෂන් සභාවේ අදහස වී තිබෙනවා.

දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලියයුතු බවට පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ අතර සඳහන්. මේ අතර, කථානායකවරයා වෙත භාරදුන් පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ කතාබහක් ඇතිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?