දීපාවලි උත්සව සමයේ ඉන්දියාව තුළ උන්මාදයක් ලෙස ආරම්භ වූ ‘කාබයිඩ් තුවක්කු’ හේතුවෙන් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව දැන් 320 ඉක්මවා ගොස් තිබෙනවා.
මෙලෙස තුවාල ලැබූවන්ගෙන් සියයට 80ක් ළමයින් වන අතර, ඉන් බොහෝ දෙනෙකු නැවත පෙනීම ලබාගැනීමට අරගල කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
දේශීය රතිඤ්ඤා තුවක්කුව ලෙස ජනප්‍රියව හැඳින්වෙන මෙම තුවක්කු, මෙවර දීපාවලි උත්සවයේ නවතම අංගයක් ලෙස ඉන්දීය වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා.
මෙහි ඇති අවදානම් තත්ත්වය හේතුවෙන් පසුගිය 18 වනදා එය තහනම් කිරීමට ද නියෝග කළ නමුත් එම තහනම නොතකා දේශීය වෙළඳපොළවල් වල එය අලෙවි වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ප්ලාස්ටික් හෝ ටින් පයිප්ප භාවිතයෙන් ‘කාබයිඩ් තුවක්කුව’ සාදා, වෙඩි බෙහෙත්, ගිනි කූරු හිස් සහ කැල්සියම් කාබයිඩ්වලින් පුරවා සිදුරක් හරහා එය දල්වනු ලබනවා.
එම අවස්ථාවේ දී මෙම උපකරණ ඇසිටිලීන් වායු පිපිරීම් භාවිතා කරමින් බිහිරි ශබ්ද සහ පීඩන තරංගයක් ඇති කරන අතර එමඟින් සම පිළිස්සීම, කන් බෙරය කැඩී යාම සහ ස්ථිර අන්ධභාවය ඇති කළ හැකියි.
මේ අතර කාබයිඩ් තුවක්කු සෙල්ලම් බඩුවක් නොව පුපුරණ සුළු ආයුධ බව අනතුරු ඇඟවීම සඳහා විශේෂයෙන් දෙමාපියන්, පාසල් සහ ළමුන් ඉලක්ක කර ගනිමින් ප්‍රාන්ත කිහිපයක මහජන දැනුවත් කිරීමේ ව්‍යාපාර ද ආරම්භ කර තිබෙනවා.
කාබයිඩ් තුවක්කු අලෙවිකරණ වෙළෙන්දන් සොයා වැටලීම් සිදුකරන අතර, සමාජ මාධ්‍යයේ හා අන්තර්ජලය තුළ ද මෙම උපකරණය අලෙවි කිරීම අවහිර කිරීමට කටයුතු කරන බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
මේ අතර මෙම භයානක උපකරණ භාවිතය වේගවත් වීමට හේතුව සමාජ මාධ්‍ය බවයි පොලිසිය පවසන්නේ.
ඇතැම් ළමුන් සහ තරුණ පිරිස් මෙම කාබයිඩ් තුවක්කුව හසුරවන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම මෙහි ව්‍යාප්තියට හේතු වී තිබෙනවා.





