රුපියල් ලක්ෂ පන්සීයකට ආසන්න වත්කම් හා මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අල්ලස් පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයකු වන කේ.කේ. සුමිත්ට විදේශගත වීම සඳහා පනවා තිබෙන තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඔහුගේ නීතිඥවරු විසින් කළ ඉල්ලීමක් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළා.
ඒ නඩුව අද (04) කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි.
එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට මේ මස 07 වැනිදා සිට සතියක කාලයක් සඳහා විදේශගත වීමට අවශ්‍යව තිබෙන බවත් එම කාල සීමාව සඳහා දැනට පනවා තිබෙන විදේශගත වීම තහනම් කිරීමේ නියෝගය ලිහිල් කරන ලෙසත් ඉල්ලා සිටියා.
එම ඉල්ලීමට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා විරුද්ධත්වය ප්‍රකාශ කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.
සිය නීත්‍යනුකූල ආදායමෙන් උපයා ගත නොහැකි රුපියල් ලක්‍ෂ 500කට ආසන්න මුදල් හා දේපළ අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් විත්තිකරුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.