AFC Banner
Empty Ad
Empty Ad

හම්බන්තොට චීන නාවික හමුදා කඳවුරක් ඉදිකිරීමේ විභවය

හම්බන්තොට වරාය චීනයට දිගු කාලීන බදු පදනම මත පැවරීමේ දී බොහෝ පාර්ශ්ව මතු කළ සැකයක් වූයේ චීන හමුදා කඳවුරක් එහි ස්ථාපිත කරනු ඇති බවයි.

එම සැක සංකා තහවුරු කරන නවතම වාර්තාවක් පසුගිය දා එළිදක්වනු ලැබුවා.

චීනයේ අන්තර්ජාතික වෙළඳාම ආරක්ෂා කිරීම වෙනුවෙන්, වරාය සහ වරාය යටිතල පහසුකම් ස්ථාපිත කිරීම සඳහා චීන වාණිජ සමාගම් විශාල වශයෙන් ආයෝජනය කර ඇත්තේ කුමම රටවලදැයි යන්න සොයාබැලීම සඳහා සිදුකෙරුණු අධ්‍යයනයක දී මෙය අනාවරනය වී තිබෙනවා

වර්ජිනියාවේ විලියම් සහ මේරි විද්‍යාලයේ AidData නම් පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇති, “ගෝලීය අභිලාෂයන් ආරක්ෂා කිරීම: චීනයේ වරාය ගමන්මග සහ අනාගත විදේශීය නාවික කඳවුරු සඳහා බලපෑම්” යන මාතෘකාවෙන් යුත් 2023 ජූලි වාර්තාව ඔස්සේ මෙම තොරතුරු අනාවරණය කර තිබුණා.

එම වාර්තාවට අනුව චීනය සිය මීළඟ විදේශීය හමුදා කඳවුර ගොඩනැගීමට බොහෝදුරට ඉඩ ඇති අන්තර්ජාතික වරායන් අට පවතින රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාව ඉහළින්ම සිටිනවා.

චීන මහජන විමුක්ති හමුදාව ඩොලර් මිලියන 590ක වියදමින් 2016 දී නැගෙනහිර අප්‍රිකාවේ ජිබුටි හි සිය ප්‍රථම විදේශීය නාවික මුරපොළ ඉදිකළා.

එහි රඳවා ඇති 2,000ක පමණ චීන හමුදා ඛණ්ඩයක් විසින් අප්‍රිකාව අවට මුහුදේ යාත්‍රා කරන චීන භාණ්ඩ ප්‍රවාහන යාත්‍රා කොල්ලකෑම් මැඩපැවැත්වීම සඳහා කටයුතු කරනවා.

වාර්තාවේ තක්සේරු කර ඇති වරායන්වල මූලෝපායික පිහිටීම, නාවික යාත්‍රා සඳහා වරාය ගැඹුර, සත්කාරක රටෙහි දේශපාලන ස්ථාවරත්වය සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී චීනය සමඟ ඡන්දය ප්‍රකාශ කිරීමට සත්කාරක රජය දක්වන ප්‍රවණතාවය මත පදනම්ව මෙම ශ්‍රේණිගත කිරීම සිදුකරනු ලැබ තිබෙනවා.

වාණිජමය වශයෙන් චීනය ලෝක මුහුදේ ආධිපත්‍යය දරනවා. නව වෙළඳ නැව් ඉදිකිරීමේ වාර්ෂිකව ඉහළම ඉදිකිරීම්කරුවන් තිදෙනා අතර සිටින චීනය ලෝකයේ දෙවන විශාලතම වෙළඳ බලඇණියට හිමිකම් කියනවා.

එපමණක් නොව රටවල් 53 ක වරායන් 96 ක පර්යන්ත හිමි හෝ ක්‍රියාත්මක කරයි.

ලෝකයේ කාර්යබහුලම සිවිල් වරායන් 10න් 7කට සත්කාරකත්වය සපයන්නේ ද චීනයයි.

නැව් මාර්ග ආරක්ෂා කිරීමට සහ එක්සත් ජනපදයෙන් සහ එහි මිත්‍ර පාක්ෂිකයින්ගේ සම්බාධකවලට එරෙහි වීමේ හැකියාව ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බැවින්, චීනයේ හමුදාව විදේශීය නාවික කඳවුරු රාශියක් ගොඩනැගීමට සැලසුම් කරමින් සිටින බව AidData අනාවරණය කර තිබෙනවා.

වාර්තාවේ කතුවරුන්, වරාය ව්‍යාපෘති සඳහා චීන රජය සතු බැංකු විසින් නිකුත් කරන ලද සංවර්ධන මූල්‍ය ප්‍රමාණය, පවතින යටිතල පහසුකම්වල උපායමාර්ගික වටිනාකම සහ සත්කාරක රටේ ආණ්ඩු සමඟ ශක්තිමත් සබඳතා, යන සාධක අනාගත චීන නාවික කඳවුරු සඳහා ප්‍රමුඛ විකල්ප අටක ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමේදී සලකා බලා තිබෙනවා.

චීනයේ මහජන විමුක්ති හමුදා නාවික හමුදාවට (PLAN) දැනට ඇත්තේ අප්‍රිකාවේ ජිබුටි හි එක් විදේශීය හමුදා කඳවුරක් පමණයි.

එහෙත්, එක්සත් ජනපදය හා චීනය අතර එදිරිවාදිකම් උනුසුම් වන විට, බීජිං වොෂින්ටනයේ එතෙර සමුද්‍ර ශක්තියට හසු වීම අරුමයක් නොවෙයි.

එක්සත් ජනපදය මෙන් නොව, චීනය ජාත්‍යන්තර ආරක්ෂක සන්ධානවලට පාර්ශවකරුවෙකු නොවන අතර එහි එකම විධිමත් ආරක්ෂක ගිවිසුම ඇත්තේ උතුරු කොරියාව සමඟයි.

එය චීනයේ මිලිටරි සංවර්ධනය සඳහා විදේශීය නාවික කඳවුරු සංවර්ධනය කිරීම ප්‍රමුඛතාවයක් බවට පත් කරයි, AidData පර්යේෂකයන් තර්ක කරනවා.

PLAN හි අනාගත අභිලාෂයන් චීනයේ තීරය සහ මාර්ග මුලපිරීම සමඟ සමීපව සමපාත විය හැකියි.

පැසිෆික් සහ ඉන්දියන් සාගර චීනයේ ඉහළම ප්‍රමුඛ සමුද්‍ර පරිසරයයි.

ඉන්දියන් සාගරයට චීනය සිය ස්වභාවික සම්පත් බොහොමයක් ලබා ගන්නා SLOCs ඇතුළත් වන අතර, ඒවායින් වඩාත් වැදගත් වන්නේ මලක්කා සමුද්‍ර සන්ධියේ සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ ඇති උපායමාර්ගික වැදගත්කමයි.

ඉන්දියන් සාගරය මධ්‍යධරණී මුහුද සහ යුරෝපීය වෙලඳපොලවල් වෙත පිවිසීම සඳහා සූවස් ඇල වෙත ප්‍රවේශය සපයනවා.

ඉන්දියන් සාගරයේ කඳවුරු එකක් හෝ කිහිපයක් තිබීම ප්‍රතිවාදී ඉන්දියාවට මෙන්ම කලාපය තුළ යොදවා ඇති එක්සත් ජනපද හමුදාවන්ට ප්‍රතිවිරෝධතාවක් බීජිනයට සපයනු ඇති.

පකිස්ථානයේ ග්වාදර් සහ ශ්‍රී ලංකාවේ හම්බන්තොට යනු සත්කාරක රට සමඟ හවුල් වී චීනය විසින් සංවර්ධනය කරන ලද ප්‍රධාන වරායන් පිළිබඳ මනා නිදර්ශන ද්විත්වයක් වනවා.

AidData ට අනුව, ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය නුදුරු අනාගතයේ දී PLAN කඳවුරක් සඳහා බොහෝ දුරට ඉඩ ඇති ස්ථානය ලෙස සැලකෙනවා.

2010 දී විවෘත කරන ලද වරාය, චීන රජය සතු සංවර්ධන බැංකුවක් වන චයිනා එක්සිම් බැංකුවෙන් ඩොලර් මිලියන 306.7 ක ණයක් ලබාගෙන ඇත.

AidData පවසන්නේ බීජිං “පහසුකම පිළිබඳ සෘජු පාලනය” ක්‍රියාත්මක කරන බවයි.

AidData ට අනුව චීනය විසින් ලොව වැඩිම අරමුදල් සම්පාදනය කළ වරාය හම්බන්තොට වරායයි.

එම ප්‍රමාණය ඩොලර් බිලියන 2.9කි. 2017 දී, ශ්‍රී ලංකා රජය සිය විදේශ ණය ගෙවීමේ දුෂ්කරතාවයට පත්වීමෙන් පසුව, 99 අවුරුදු බදු දීමේ වරායේ පාලනය චීන සමාගමක් විසින් පවරා ගනු ලැබුවා.

චීනයේ “ණය උගුල් රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ” උදාහරණයක් ලෙස හම්බන්තොට බොහෝ විට උපුටා දක්වනු ලබනවා.

එහි මූලෝපායික පිහිටීම, ප්‍රභූන් සමග චීනයේ සම්බන්ධය සහ එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල ඡන්දයේදී ශ්‍රී ලංකාව චීනය සමඟ පෙලගැසී සිටීම, හම්බන්තොට අනාගත නාවික කඳවුරක් ඉදිකිරීමේ ප්‍රමුඛතම ස්ථානය ලෙස තෝරා ගැනීමට AidData වෙත බල කර තිබෙනවා.

එමෙන්ම 2018 වසරේ දී චීනය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට විදේශීය මිලිටරි අලෙවියකට (FMS) වඩා ත්‍යාගයක් ලෙස 053 වර්ගයේ නෞකාවක් පිරිනැමීමත් සමඟ නාවික සහයෝගීතාව තවදුරටත් තහවුරු වීමත් මෙහිදී සැලකිල්ලට ලක් වූ තවත් කාරණයක්.

යම් ලෙසකින් හම්බන්තොට චීන හමුදා කඳවුරක් ඉදිකළහොත් එය ඉන්දියන් සාගරයේ සාමය සහ ස්ථාවරත්වයට බරපතල අනතුරක් වන බව අවිවාදිතයි.

ඒ හරහා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා ද බිඳ වැටීම කිසිසේත් වැළැක්විය නොහැකි වනු ඇති.

මෙවැනි අවදානම් සහගත තත්ත්වයක් උද්ගත විය හැකි බවට වාර්තාවක් නිකුත් වී එය ජාත්‍යන්තර මාධ්‍ය අවදානයට ද ලක්ව ඇතත් තවමත් මෙරට කිසිදු පාර්ශ්වයක් ඒ සම්බන්ධයෙන් නිල ස්ථාවරයක් ප්‍රකාශයට පත් නොකරන්නේ ඇයි ද යන්න ගැටලුවක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
20
+1
10
+1
6
+1
10
+1
12
+1
10
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?