සිරි දළඳා දැක්ම ප්‍රදර්ශනය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා එම බැතිමතුන් පැමිණෙන වාහන හඳුනා ගැනීමට ස්ටිකරයක් හඳුන්වාදීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.
බැතිමතුන්ගේ වාහන පහසුවෙන් හඳුනාගෙන රථගාල් වෙත යොමු කිරීමට, පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව ගණනය කිරීම සහ බැතිමතුන්ට අවහිරයකින් තොරව වන්දනා කටයුතු කර ගැනීමට හැකිව පරිදි මෙම ස්ටිකරය හඳුන්වා දෙන බවයි පොලිසිය පැවසුවේ.
සෑම පොලිස් වසමකම පිහිටුවා ඇති මහජන ආරක්ෂක කමිටු සම්බන්ධීකරණය කරගනිමින් සිරි දළඳා දැක්ම ප්‍රදර්ශනය සඳහා පිටත්වන වාහන සඳහා එක් වාහනයකට එක් ස්ටිකරයක් බැඟින් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.
මෙම ස්ටිකරය අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ අත්සන සහ නිල මුද්‍රාව සහිතව නිකුත් කරන බවයි පොලිසිය සඳහන් කළේ.
අදාළ වාහනවල ඉදිරිපස වීදුරුවේ වම්පස ඉහළ කෙලවරේ මෙම ස්ටිකරය අලවාගෙන පැමිණෙන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ.
කෙසේ වෙතත් සිරි දළඳා දැක්ම ප්‍රදර්ශනය සඳහා පැමිණෙන බැතිමතුන් රැගත් වාහනවලට අදාළ ස්ටිකරය ඇලවීම අනිවාර්ය නොවන බව ද පොලිසිය පවසනවා.