සිංහල සහ හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර අද සිට

සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ නැකැත් චාරිත්‍ර අද සිට ආරම්භ වනවා. පරණ අවුරුද්ද සඳහා ස්නානය අද දිනයේ යෙදී ඇති අතර කොහොඹ පත් මිශ්‍ර යුෂ නානු ගා ස්නානය කිරීම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන් වෙයි.

අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා නව සඳ බැලීමේ චාරිත්‍රය අප්‍රේල් මස 3 වන ඉරු දිනට යෙදී තිබු අතර සූර්ය වර්ෂය සඳහා නව සඳ බැලීමේ චාරිත්‍රය මැයි මස 5 වන බ්‍රහස්පතින්දා දිනට යෙදී තිබේ.

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද අප්‍රේල් මස 14 වනදා පූර්වභාග 08.41ට උදාවන අතර පුණ්‍ය කාලය එදින පූර්වභාග 02.17 සිට අපරභාග 03.05 දක්වා යෙදී ඇති බව නැකැත් සීට්ටුවේ සඳහන් වේ.

ආහාර පිසීමේ නැකත 14 වන බ්‍රහස්පතින්දා පූර්වභාග 09.05ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සිදුකිරීම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන්.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව නැකත එදින පූර්ව භාග 10.17 ට රන්වන් පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සිදුකිරීම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන්.

හිසතෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් මස 17 වන ඉරිදා පූර්ව භාග 07.04ටත්, රැකි රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත අප්‍රේල් මස 18 වන සඳුදා පූර්ව භාග 06.51 ටත් යෙදී තිබේ.